ස්වාමින්වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ඔසවා ගන්නට සූදානම් වූ අවස්ථාවේ එලියා හා එලීෂා ගිල්ගාල් සිට ගමන් කරමින් සිටියහ. එලියා, එලීෂා අමතමින්, “මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා බෙතෙල් වෙත යැවූ සේකැ” යි කීවේ ය.
එහෙත් එලීෂා, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යන්නෙමි” යි කීවේ ය. එබැවින් ඔවුහු බෙතෙල් වෙත ගියහ.
බෙතෙල්හි දිවැසිවර කණ්ඩායම එලීෂා වෙත අවුත්, කතා කොට, “ස්වාමින්වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ වෙතින් ගන්නා වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ.
“ඔව්, මම දන්නවා” යි පිළිතුරු දුන් එලීෂා, “ඒ ගැන කතා නො කරනු” යි පැවසී ය.
ඉන්පසු එලියා යළි ඔහු අමතා, “එලීෂා මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා යෙරිකෝවට යැවූ සේකැ” යි පැවසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යමි” යි පැවසී ය. එසේ ඔවුහු යෙරිකෝවට ගියහ.
යෙරිකෝවේ දිවැසිවර කණ්ඩායම එලීෂා වෙත අවුත්, “ස්වාමින්වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ වෙතින් ගන්නා වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ.
“ඔව්, මම දන්නවා” යි පිළිතුරු දුන් ඔහු, “ඒ ගැන කතා නො කරනු” යි පැවසී ය.
ඉන්පසු එලියා ඔහු අමතමින්, “මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා යොර්දානයට යවන සේකැ” යි කී ය.
ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යන්නෙමි” යි කීවේ ය. එසේ ඔවුන් දෙදෙනා එක් ව ගමන් කළහ.
දිවැසිවර කණ්ඩායමේ මිනිසුන් පනස් දෙනෙක් පිටත් ව අවුත්, එලියා හා එලීෂා නැවතුණු තැනට මෑතින් යොර්දාන් නදිය පසෙක සිටගත්හ. එලියා තම සළුව ගෙන, රවුමට අකුළා ජලයට එයින් ගැසී ය. ගං ජලය දකුණු පසටත්, වම් පසටත් බෙදී ගියේ ය. ඔවුන් දෙදෙනා දිය සිඳුණු වියළි බිමේ එතෙර වූහ.
ඔවුන් එතෙර වූ කල, එලියා, එලීෂා අමතමින්, “ඔබ වෙතින් මා ගනු ලබන්නට පළමුවෙන්, මා ඔබ උදෙසා කළ යුත්තේ මොනවා ද කියා කියන්නැ” යි කී ය.
එලීෂා පිළිතුරු දෙමින්, “ඔබේ ආත්ම භාවය මෙන් දෙගුණයක් මට ලැබේවා” යි පැවසී ය.
එවිට එලියා, “ඔබ ඉල්ලුවේ අමාරු දෙයක්. එහෙත් ඔබ වෙතින් මා ගන්නවා ඔබ දුටුවොත්, ඔබට එය ලැබෙයි. නැත්නම් ලැබෙන්නේ නැතැ” යි පැවසී ය.
ඔවුන් එක් ව කතා කරමින්, ගමන් කරද්දී හදිසියේ ම ගිනි රථයක් හා ගිනි අශ්වයින් පෙනී, ඔවුන් දෙදෙනා වෙන් කෙරිණ. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේ ය. එලීෂා ඒ දැක මොර ගසමින්, “මගේ පියාණෙනි! මගේ පියාණෙනි! ඉශ්‍රායෙල්ගේ රථ හා අසරුවනි” යි පැවසී ය. එලීෂා තවත් ඔහු දුටුවේ නැත. එවිට ඔහු තමාගේ හැඳිවත් අල්ලා දෙකඩ කළේ ය.
ඔහු එලියාගෙන් වැටුණු සළුව අහුලා, ආපසු ගොස්, යොර්දාන් ගං ඉවුරේ සිට ගත්තේ ය. ඉන්පසු එලීෂා එලියාගෙන් වැටුණු සළුව ගෙන, “එලියාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කොහෙදෝ?” යි කියමින් එයින් වතුරට ගැසී ය. ඔහු වතුරට ගැසූ කල, වතුර දකුණටත්, වමටත් බෙදී ගියේ ය. ඔහු එතෙර විය.