2 රාජාවලිය 17:5-29

2 රාජාවලිය 17:5-29 SCV

අසිරියාවේ රජු මුළු මහත් දේශය ම ආක්‍රමණ කළේ ය. ඔහු සමාරියට එරෙහිව අවුත්, වසර තුනක් එය වටලා සිටියේ ය. හෝෂෙයා රජුගේ නවවෙනි වසරේ අසිරියාවේ රජු සමාරිය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන් අසිරියාවට පිටුවහල් කර හැරියේ ය. ඔහු හලා ද හාබොර් ගඟ එපිට ගෝසාන් ද මේදවරුන්ගේ නගරවල ද ඔවුන් පදිංචි කරවී ය. එසේ වූයේ ඊජිප්තුවේ රජු වූ පාරාවෝ අතින් මුදා, ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ තැනැන්වහන්සේ වන ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව ඉශ්‍රායෙල් පව් කළ නිසා ය. ඔවුහු අන් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරමින්, ඉශ්‍රායෙල් ජනයා ඉදිරිපිටින් ස්වාමින්වහන්සේ පන්නා දැමූ ජාතීන්ගේ චාරිත්‍ර හා ඉශ්‍රායෙල් රජවරුන් හඳුන්වා දුන් චාරිත්‍රවල ගැලුණහ. ඉශ්‍රායෙල්වරුන් තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව නුසුදුසු දෑ රහසිගත ව කළහ. මුර කොටු පටන් බළකොටු පුරවර දක්වා ඔවුහු තමන්ගේ හැම නගරයක ම තමන්ට උස් තැන් පුදසුන් සාදා ගත්හ. ඔවුහු හැම උස් හෙලකම හා අතු විහිදුණු හැම ගසක් යට රූප ස්තම්භ ද අෂේරා කණු ද පිහිටුවා ගත්හ. ස්වාමින්වහන්සේ ඔවුන් ඉදිරිපිටින් පන්නා දැමූ ජාතීන් කළ පරිදි ඔවුහු හැම උස් තැන් පුදසුනක ම සුවඳ දුම් දැවූහ. ඔවුහු ස්වාමින්වහන්සේ උදහස් කරවන දුෂ්ටකම් කළෝ ය. “ඔබ මෙසේ නො කළ යුතු යැ” යි ස්වාමින්වහන්සේ ඔවුන්ට පවසා තිබුණ ද ඔවුහු පිළිමවලට වැඳුම් පිදුම් කළහ. “ඔබේ නපුරු මාර්ගවලින් ඉවත හැරෙන්න. කීකරු වීමට මා නුඹලාගේ පියවරුන්ට අණ කළ හා මගේ සේවක දිවැසිවරුන් මගින් ඔබ අතට පත් කළ මුළු ව්‍යවස්ථාවට අනුව මගේ ආඥා හා මගේ නියෝග රක්ෂා කරන්නැ” යි ස්වාමින්වහන්සේ තම සියලු දිවැසිවරුන් හා අනාගතවක්තෘවරුන් මගින් ඉශ්‍රායෙල්ට හා යූදාට අනතුරු අඟවා තිබිණි. එහෙත් ඔවුන් ඊට සවන් නුදුන්නේ තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය නො තැබූ තම ආදි පියවරුන් මෙන් මුරණ්ඩුකමිනි. උන්වහන්සේගේ නියෝග ද උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන් සමඟ කර තිබූ ගිවිසුම ද උන්වහන්සේ ඔවුන්ට අවවාද කර තිබූ පනත් ද ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඔවුහු වැදගැම්මකට නැති පිළිම පසු පස යමින් තමන් ද වැදගැම්මකට නැත්තෝ වූහ. “ඔවුන් අනුකරණ නො කරන්නැ” යි ස්වාමින්වහන්සේ ඔවුන්ට නියෝග කර තිබුණත්, ඔවුහු තමන් වටා සිටි ජාතීන් අනුකරණ කළහ. ඔවුහු තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ සියලු ආඥා අත්හැර, තමන්ට වාත්තු කළ වසු පැටි පිළිම දෙකක් හා අෂේරා රූප ස්තම්භයක් සාදා ගෙන, සියලු ග්‍රහ-තරු සේනාවට නමස්කාර කරමින්, බාල් දෙවියාටත් සේවය කළහ. ඔවුහු තම පුතුන් හා දූවරුන් ගින්නෙන් පූජා කළහ. ඔවුහු පේනකීම්වල ද නිමිති බැලීම්වල ද නිරත වූහ. ඔවුහු ස්වාමින්වහන්සේ කුපිත කරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්නට තමන් ම බාර වූහ. එබැවින් ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් සමඟ බෙහෙවින් කෝප වී, තමන් අබියසින් ඔවුන් ඉවත් කර දැමූ සේක. ඉතිරි වූයේ යූදා ගෝත්‍ර වංශය පමණි. යූදා පවා තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා රක්ෂා කළේ නැත. ඔවුහු ඉශ්‍රායෙල් විසින් තමන්ට හඳුන්වා දී තිබූ වත් පිළිවෙත් අනුගමන කළහ. එබැවින් ස්වාමින්වහන්සේ මුළු ඉශ්‍රායෙල් ජනතාව ම ප්‍රතික්ෂේප කළ සේක; උන්වහන්සේ ඔවුන්ට පීඩා පමුණුවා, තමන් අබියසින් ඔවුන් පහ කර දැමෙන තුරු කොල්ලකරුවන් අතට ඔවුන් හසුකර දුන් සේක. උන්වහන්සේ දාවිත්ගේ වංශයෙන් ඉශ්‍රායෙල් ඉරා දැමූ කල, ඔවුහු තමන්ගේ රජු වශයෙන් නෙබාට්ගේ පුත් යෙරොබොවම් පත් කර ගත්හ. යෙරොබොවම්, ස්වාමින්වහන්සේ අනුගමන කිරීමෙන් ඉශ්‍රායෙල්වරුන් බැහැර කොට, බරපතළ පාපයක් කරන්නට ඔවුන්ට සැලසී ය. ඉශ්‍රායෙල් ජනයා යෙරොබොවම්ගේ සියලු පාපවල ඇලී ගැලී සිටියාහු, එයින් ඉවත් නො වූයේ, ස්වාමින්වහන්සේ තම සියලු සේවකයින් වන දිවැසිවරුන් මගින් අනතුරු අඟවා තිබූ පරිදි, ඉශ්‍රායෙල් ජනයා තම ඇස් හමුවෙන් ඉවත් කර දමන තුරු ය. මෙසේ ඉශ්‍රායෙල් ජනයා තම මව් බිමේ සිට අසිරියාවට පිටුවහල් කොට ගෙන යනු ලැබූහ. අද දවස දක්වා ම ඔවුහු එහි සිටිති. අසිරියාවේ රජු බබිලෝනි, කූතා, අව්වා, හමාත් හා සෙෆර්වයිම් වෙතින් ජනයා ගෙනැවිත්, ඉශ්‍රායෙල්වරුන් වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔවුහු සමාරිය අයිති කර ගෙන එහි නගරවල වාසය කළහ. ඔවුන් එහි වාසය කරන්නට වූ මුල් කාලයේදී ඔවුහු ස්වාමින්වහන්සේට භය ඇතුව නො සිටියහ; එබැවින් උන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. උන් මිනිසුන් කීප දෙනකු මරා දැමූහ. එය අසිරියාවේ රජුට දන්වන ලදී: “ඔබ ගෙනවුත්, සමාරියේ නගරවල පදිංචි කර වූ ජනයා ඒ රටේ දෙවියන්ගේ වත් පිළිවෙත් දන්නේ නැත. උන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ බැවින් උන් ජනයා මරා දමා ඇත. මන්ද දේශයේ දෙවියන්ගේ වත් පිළිවෙත් ගැන ඔවුන්ට වැටහීමක් නැති බැවිනි.” එවිට අසිරියාවේ රජු, “සමාරියේ සිට පිටුවහල් කොට ගෙන ආ පූජකයින්ගෙන් කෙනකු ආපසු එහි වාසයට යවා, ඒ දේශයේ දෙවියන්ගේ නියමයන් ජනතාවට උගන්වන්ට සැලැස්විය යුතු යැ” යි නියෝග කළේ ය. එබැවින් සමාරියේ සිට පිටුවහල් කොට ගෙන ගොස් සිටි පූජකයින්ගෙන් කෙනෙක් ආපසු බෙතෙල්හි වාසයට අවුත්, ස්වාමින්වහන්සේට භය විය යුතු අන්දම ජනයාට උගැන්වී ය. එසේ වුවත් ඒ එක් එක් ජාතිය තමන් පදිංචි නගරවල තමන්ගේ දෙවිවරුන් සාදා ගෙන සමාරියේ ජනයා උස් තැන්වල සාදා තිබූ දේවාලවල ඒවා පිහිටුවා ගත්හ.

2 රාජාවලිය 17:5-29 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය