2 රාජාවලිය 14:1-14

2 රාජාවලිය 14:1-14 SCV

ඉශ්‍රායෙල්හි රජු වූ යෝවාහාස්ගේ පුත් යෝවාෂ්ගේ දෙවන වසරේ යූදාහි රජු වූ යෝවාෂ්ගේ පුත් අමසියා රජකම් කරන්නට පටන් ගත්තේ ය. ඔහු රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු විසිනවයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. යෙරුසලම් කාන්තාවක් වූ ඔහුගේ මවගේ නම යෙහෝවද්දාන් ය. ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබූ දෑ කළේ ය. එහෙත් ඒ තම පියා වූ දාවිත් කර තිබූ පරිදි ම නො වේ. ඔහු හැම දේකදී ම අනුගමන කළේ, තම පියා වූ යෝවාෂ්ගේ ආදර්ශය ය. එහෙත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි; ජනයා දිගට ම එහි යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දවාලූහ. රාජ්‍යය තම අත යට ස්ථාවර වූ කල, ඔහු තම පිය රජු මරා දැමූ නිලධාරීන් මරා දැමී ය. එහෙත් ඔහු ඒ මිනී මරුවන්ගේ පුතුන් මරා දැමුවේ නැත. එසේ නො කළේ ස්වාමින්වහන්සේ ආඥා කළ මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා ඇති පරිදි, “තම දරුවන් නිසා පියවරුවත්, තම පියවරුන් නිසා දරුවෝවත් මරණයට පත් කරනු නො ලබත්වා. එක් එක්කෙනා මරණයට පත් විය යුත්තේ තමාගේ ම පාපය උදෙසා ය” යන්නට අනුකූලව ය. ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දස දහසක් ගසා හෙළා, යුධ වැදීමෙන් සෙලා අත්පත් කර ගත්තේ ඔහු ය. ඔහු ඊට යොක්තෙයෙල් යන නම තැබී ය. ඒ නම අද දක්වා පවතී. ඉන්පසු අමසියා, ඉශ්‍රායෙල්හි රජු වූ යේහූගේ පුත් යෙහෝවාහාස්ගේ පුත් යෙහෝවාෂ් වෙත පණිවුඩකරුවන් යවමින්, “එන්න, මුහුණට මුහුණ මුණගැසෙමු” යි කියා යැවී ය. එහෙත් ඉශ්‍රායෙල්හි රජු වූ යෙහෝවාෂ්, යූදාහි රජු වූ අමසියාට පිළිතුරු දෙමින්, “ලෙබනොන්හි කටු ගසක්, ලෙබනොන්හි දේවදාර ගසකට පණිවුඩයක් යවමින්, ‘ඔබගේ දියණිය මගේ පුතුට බිරිඳ කර දෙන්නැ’ යි කියා යැවී ය. එවිට එතැන පසු කර යන ලෙබනොන්හි වන මෘගයෙක් කටු ගස පාගා දැමී ය. ඔබ සැබවින් ඒදොම් පැරදවී ය; දැන් ඔබේ සිත උඩඟු වී තිබේ. ඔබේ ජයග්‍රහණය රැකගෙන ගෙදරට වී ඉන්න. ඔබත්, යූදාත් වැටෙන පිණිස කරදර ඇතිකර ගන්නේ මොකට දැ” යි කියා යැවී ය. එහෙත් අමසියා ඇහුම්කන් දුන්නේ නැත. එබැවින් ඉශ්‍රායෙල්හි රජු වූ යෙහෝවාෂ් ගියේ ය. ඔහු හා යූදාහි රජු වූ අමසියා යූදාට අයත් බෙත්-ෂෙමෙෂ්හි දී එකිනෙකා මුහුණට මුහුණ හමුවූහ. යූදා ඉශ්‍රායෙල් අතින් පරාජයට පත් විය. හැම මිනිසෙක් ම තම නිවසට පලා ගියේ ය. ඉශ්‍රායෙල්හි රජු වූ යෙහෝවාෂ්, අහසියාගේ පුත් යෝවාෂ්ගේ පුත්‍ර, යූදාහි රජු වූ අමසියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන, යෙරුසලම වෙත ගොස්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා රියන් හාරසියයක් යෙරුසලම් පවුර බිඳ දැමී ය. ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් හා රජ මැදුරේ භාණ්ඩාගාරවලින් හමු වූ සියලු රන් හා රිදී ද සියලු භාණ්ඩ ද අත්කර ගත්තේ ය. තවද ඔහු ප්‍රාණ ඇපකරුවන් ද අල්ලාගෙන, සමාරිය වෙත ආපසු ගියේ ය.

මෙයට අදාළ වීඩියෝ