2 කොරින්ති 8:1-7

2 කොරින්ති 8:1-7 SCV

සහෝදරයිනි, මකිදෝනියෙහි සභාවනට දෙවියන්වහන්සේ දී ඇති අනුග්‍රහය ගැන ඔබ දැනගැනීම අපගේ කැමැත්තයි. මන්ද පීඩාවේ උග්‍ර පරීක්ෂා මැද ඔවුන්ගේ අධික ප්‍රීතියත්, ඔවුන්ගේ අන්ත දුගී භාවය මැද උතුරා යන ත්‍යාගශීලීත්වයේ ධනවත්කමත් ඔවුන්ට ඇත. මන්ද ඔවුන් තමන්ට දීමට හැකි පමණින් හා දීමට හැකි පමණටත් වඩා වැඩියෙන් දුන් බවට සාක්ෂි දරන්නට මට පුළුවන. ඔවුහු ස්ව-කැමැත්තෙන් ම අපට ආයාචනා කරමින්, ශුද්ධවතුනට දෙන සහනාධාරයට පංගුකාර වීමට උදක් ම ඉල්ලූහ. ඒ අප අපේක්ෂා කළ පරිදි නො වේ; ඔවුන් පළමු කොට ස්වාමින්වහන්සේටත්, ඉන් අනතුරුව දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟ ව අපටත් තුමූම භාර වූහ. ඒ අනුව, තීතස් පටන් ගෙන තිබූ පරිදි, මෙම අනුග්‍රාහක සේවය ඔබ අතරේත් සම්පූර්ණ කරන ලෙස, අපි ඔහුගෙන් උදක් ම ඉල්ලීමු. එහෙත් ඇදහිල්ලේ ද කතාවේ ද අවබෝධයේ ද පූර්ණ උද්යෝගයේ හා අප වෙත ඇති ඔබගේ ප්‍රේමයේ ද යන සියල්ලෙහි ඔබ විශිෂ්ට ව සිටින සේ, අනුග්‍රහයයේ මෙම සේවයේ ද විශිෂ්ට වන්නට වග බලා ගන්න.