2 කොරින්ති 4:7-14
2 කොරින්ති 4:7-14 SCV
එහෙත් අනභිභවනීය බලය අයිති අපට නො ව, දෙවියන්වහන්සේට වග පෙන්වනු පිණිස, මෙම වස්තුව අපට ඇත්තේ මැටි බඳුන්වල ය. අපි හැම පැත්තෙන් ම තදින් තෙරපනු ලබන්නෙමු; එහෙත් තැළී නැත. වියවුල් කරනු ලබන්නෙමු; එහෙත් බලාපොරොත්තු සුන්වී නැත. වධ හිංසා කරනු ලබන්නෙමු; එහෙත් අත්හරිනු ලැබ නැත; ගසා හෙළනු ලබන්නෙමු; එහෙත් විනාශ වී නැත. හැම විට ම යේසුස්වහන්සේගේ මරණය අප ශරීරය තුළ ගෙන යන්නේ යේසුස්වහන්සේගේ ජීවනය ද අපගේ ශරීර තුළ ප්‍රකාශ වන පිණිස ය. මැරෙන සුළු අප මාංසයේ යේසුස්වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, ජීවත් ව සිටින අපි නිරතුරු මරණයට භාර දෙනු ලැබ සිටිමු. මෙසේ අප තුළ ක්‍රියාකාරී ව ඇත්තේ මරණයයි; එහෙත් ඔබ තුළ ජීවනයයි. “මම විශ්වාස කළෙමි; එබැවින් මම කතා කළෙමි” යි ලියා තිබෙන ලෙස ඇදහිල්ලේ එම ආත්මයෙන් යුතු ව අපිදු විශ්වාස කරන්නෙමු; එබැවින් කතා කරන්නෙමු. මන්ද යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ තැනැන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ අප ද නැගිටුවන බවත්, ඔබ සමඟ අප තමන්වහන්සේ ඉදිරියට පමුණු වන බවත් අප දන්නා බැවිනි.

