2 කොරින්ති 2:2-15
2 කොරින්ති 2:2-15 SCV
මන්ද මා, ඔබ වේදනාවට පත් කළහොත්, මා විසින් වේදනාවට පත් කරන ලද්දවුන් මිස, මා සොම්නස් කරන්නට ඉන්නේ වෙන කවුරු ද? මා ඔබට ලියා එවුවේ මා පැමිණි කල, මා සොම්නස් කරන්නට යුතු වූවන් වෙතින් ම මා වේදනාවට පත් නො වන පිණිස ය. මන්ද මගේ ප්‍රීතිය, ඔබ හැමගේත් ප්‍රීතිය වන බවට ඔබ හැම ගැන නිසැක හැඟීමක් මට තිබිණි. මන්ද හදවතේ දැඩි පීඩනයකින් හා සන්තාපයෙන් ද නෙතේ පිරි කඳුළින් ද යුතු ව මා ඔබට ලියුවේ, ඔබ වේදනාවට පත් කිරීමට නො ව, ඔබට ඇති මගේ ප්‍රේමය කොතරම් අධිකදැයි ඔබ දැනගන්නා පිණිස ය. යමකු වේදනාවක් ඇති කළා නම්, ඔහු එය ඇති කළේ මට නො ව, තරමක් දුරකට ඔබ හැමට ය. එසේ කීවේ තත්වය වඩා උග්‍ර කර නො දැක්වීමට ය. ඒ තැනැත්තාට, වැඩි දෙනාගෙන් ලද දඬුවම ප්‍රමාණවත් ය. එබැවින් දැන් ඊට වඩා ඔහුට කමා වීමට නැඹුරු වී, ඔහු අස්වැසීම යුතු ය. නැතහොත් ඒ අධිකතර ශෝකයෙහි ඔහු ගිලී යා හැකි ය. එබැවින් ඔහුට ඇති ඔබේ ප්‍රේමය යළි තහවුරු කර දක්වන මෙන් ඔබෙන් උදක් ම ඉල්ලමි. මා ඔබට ලියුවේ, හැම කරුණකදී ම ඔබ කීකරු වේ දැයි පරීක්ෂා කර දැනගැනීමට ය. ඔබ යමකුට කමා වන්නේ නම්, මමත් ඔහුට කමා වෙමි. මා එසේ කමා වී නම්, කමා වී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියේ ය. එසේ කළේ සාතන් උපායශීලී ව අප නො රවටන පිණිස ය; මන්ද උගේ උපක්‍රම අප නො දන්නවා නො වේ. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරන්නට මා ත්‍රෝවසට ආ කල, ස්වාමින්වහන්සේ තුළ එහි මට දොරක් විවර ව තිබුණ ද, මා සහෝදර තීතස් එහිදී හමු නො වූ බැවින්, මගේ ආත්මයට සැනසීමක් නො විණි. එබැවින් මම ඔවුන්ගෙන් සමුගෙන, මකිදෝනිය බලා ගියෙමි. එහෙත් හැම විට ක්‍රිස්තුස්වහන්සේ තුළ ජය පෙරහැරෙහි අප ගෙන යන්නා වූත්, උන්වහන්සේ දැනගැනීමේ සුවඳ අප මගින් හැම තැන පතුරවන්නා වූත් දෙවියන්වහන්සේට ස්තුති වේවා! මන්ද ගැලවෙන්නන් අතරේ ද විනාශවන්නන් අතරේ ද දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳ අප ය.

