2 කොරින්ති 11:16-30

2 කොරින්ති 11:16-30 SCV

මා නැවතත් කියන්නේ, කිසිවකු මා අඥානයකු යයි නො සිතන ලෙසයි. එහෙත් ඔබ එලෙස සිතන්නේ නම්, මා මදක් පාරට්ටු කර ගන්නා පිණිස, මා අඥානයකු ලෙස පිළිගන්න. පාරට්ටු කර ගැනීමේ ආත්ම විශ්වාසයෙන් යුතු ව, මා මෙසේ කියන්නේ ස්වාමින්වහන්සේ පවසන ලෙස නො ව, අඥානයකු වශයෙනි. බොහෝ දෙනෙක් මාංසයට අනුව පාරට්ටු කර ගන්නා නිසා මමත් පාරට්ටු කර ගනිමි. මන්ද අඥානයින් ගැන ඔබ ප්‍රීතියෙන් ඉවසන්නේ ඔබ ප්‍රඥාවත් නිසයි! මන්ද යමකු ඔබ වහලකු කර ගත්තත්, යමකු ඔබ ගිල දැමුවත්, ඔබෙන් අයුතු ප්‍රයෝජන ගත්තත්, යමෙක් ඔබට අධිපතිකම් පෑවත්, ඔබට අතුල් පහර දුන්නත් ඔබ ඒ සියල්ල ම දරා ගනිති. මා මෙය කිය යුතු ය; එසේ කිරීමට අප හුඟක් දුර්වල වීම ගැන ලජ්ජා වෙමි. එහෙත් යම් කෙනකු යම් දෙයක් ගැන පාරට්ටු කර ගැනීමට එඩිතර වේ ද, ඒ ගැන මටත් පාරට්ටු කර ගැනීමට හැකි වග මා කියන්නේ අඥානයකු ලෙස ය. ඔවුහු හෙබ්‍රෙව්වරු ද? මා ද එසේ ම ය; ඔවුහු ඉශ්‍රායෙල්වරු ද? මා ද එසේ ම ය; ඔවුහු ආබ්‍රහම්ගේ වංශය ද? මා ද එසේ ම ය. ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝ ද? ඊට වැඩියෙන් මා එබන්දෙකැයි උමතු වූවකු සේ කියමි. ඒ වඩාත් වෙහෙසී වැඩ කිරීමෙනි; වඩ වඩා සිරගත කරනු ලැබීමෙනි; ගණන් නැතිව පහර කෑම් ලැබීමෙනි; බොහෝ වර මරු කටට ළං වීමෙනි. පස් වතාවක් යුදෙව්වරුන් අතින් තිස්නව කස පහර ලදිමි. තුන් වතාවක් කෝටු මස් කරනු ලදිමි. වතාවක් ගල් ගසනු ලැබීමි. තුන් වතාවක් නැව් මුහුදුබත් වීම්වලට ගොදුරු ව, දහවලක් හා රැයක් මුහුදේ පාවෙවී සිටියෙමි. නිතර ගමනේ යෙදීමේදී ගංගා අනතුරු, මංකොල්ල අනතුරු, මගේ ම රට වැසියන්ගෙන් වූ අනතුරු හා අන් ජාතීන්ගෙන් වූ අනතුරු, නගරයේ අනතුරු, පාළුකරයේ අනතුරු, මුහුදු අනතුරු හා බොරු සහෝදරයින්ගෙන් වූ අනතුරුවලට මුහුණ පෑවෙමි. වෙහෙසීම් හා අපහසුතා ද අනේක රෑ නිදිවැරීම් ද සාගින්නෙන් හා පිපාසයෙන් ද බොහෝ විට ආහාර නොමැතිව ද ශීතලෙන් හා ඇඳුම් නොමැතිව ද සිට ඇත්තෙමි. මේ දෑ හැර, හැම සභාවක් කෙරේ වූ මගේ කනස්සල්ලේ පීඩනය ද දිනපතා මා සමඟ විය. යමෙක් දුර්වල නම්, ඒ දුර්වලකම මට නො දැනේ ද? යමෙක් වැටී ගියේ නම්, මම සංවේගී නො වෙම් ද? මා පාරට්ටු කර ගත යුතු නම්, මගේ දුර්වලකම් පෙනෙන දෑ ගැන පාරට්ටු කර ගනිමි.