සාලමොන්, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, රජුගේ ගෘහයේත් වැඩ නිම කොට, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, තමන්ගේ ගෘහයේත් කරන්නට අදහස් කළ සියල්ල සාර්ථක ලෙස නිම කළ පසු, ස්වාමින්වහන්සේ රාත්‍රියේදී සාලමොන්ට පෙනී, මෙසේ පැවසූ සේක:
“මම ඔබේ යාච්ඤාවට සවන් දුන්නෙමි; මෙම ස්ථානය යාග පූජා ගෘහයක් වශයෙන් මම මට ම තෝරා ගත්තෙමි.
“වැසි නො වසින ලෙස මා අහස පියවන කල හෝ දේශය වනසන ලෙස පළඟැටියන්ට මා අණ කරන කල හෝ මගේ ජනයා අතරට වසංගතය එවන කල හෝ මගේ නාමය දරන මගේ ජනයා තමුන් ම යටහත් වී, කන්නලව් කර, මගේ මුහුණ සොයා, තමන්ගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරෙන්නේ නම්, මම ස්වර්ගයේ සිට අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. මෙම ස්ථානයේදී ඔප්පු කරන යාච්ඤාවලට දැන් මගේ ඇස් විවර ව, මගේ සවන් යොමු ව තිබේ. මේ ගෘහයේ මගේ නාමය සදහට ම පවතින පිණිස මම එය තෝරා ගෙන, විශුද්ධ කළෙමි. මගේ ඇස් ද මගේ හදවත ද නිරන්තරයෙන් ම එහි වන්නේ ය.
“ඔබ, ඔබේ පියා වූ දාවිත් කළ පරිද්දෙන්, මා අබියස හැසිරෙමින්, මා අණ කරන සියල්ල කරන්නේ නම් හා මගේ නියෝග හා නියමයන් රක්ෂා කරන්නේ නම්, ‘ඉශ්‍රායෙල් පාලනය කරන්නට ඔබට කෙනකු නැති නො වනු ඇතැ’ යි පවසමින් ඔබේ පියා වූ දාවිත් සමඟ මා කළ ගිවිසුම පරිදි මම ඔබේ රාජකීය සිංහාසනය ස්ථිර කරන්නෙමි.
“එහෙත් ඔබ වෙනතක හැරී, මා ඔබට දුන් නියෝග හා ආඥා අත්හැර ගොස්, අන් දෙවිවරුන්ට සේවය කර, නමස්කාර කරන්නේ නම්, මම ඔබට දුන් මගේ දේශයෙන් ඔබ උදුරා දමන්නෙමි. මගේ නාමය උදෙසා විශුද්ධ කර ගත් මේ ගෘහය මගේ දෘෂ්ටියෙන් බැහැර කර, සියලු ජනයින් අතර එය උපහාසයක් ද සමච්චලයට හේතුවක් ද වන්නට සලස්වන්නෙමි. එවිට යන එන සියලු ජනයා විස්මපත් ව බලා, මේ ගෘහය උත්තම ව තිබුණේ වී නමුත්, ‘මේ දේශයටත්, මේ ගෘහයටත් ස්වාමින්වහන්සේ මෙහෙම දෙයක් කළේ ඇයි?’ දැයි අසනු ඇත. එවිට මිනිසුන් පිළිතුරු දෙමින්, ‘ඔවුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන් වැලඳ ගනිමින්, ඔවුන්ට නමස්කාර කරමින්, සේවය කළ නිසා උන්වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිටට ගෙනා සේකැ’ යි” කියනු ඇත.