2 ලේකම් 4:1-22
2 ලේකම් 4:1-22 SCV
ඔහු ලෝකඩ පූජාසනයක්, රියන් විස්සක් දිගින්, රියන් විස්සක් පළලින් හා රියන් දහයක් උසින් සෑදී ය. ඔහු වාත්තු ලෝහයෙන් මුහුදු තටාකය සෑදී ය. වටකුරු හැඩයට සෑදූ එහි ගැටියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා රියන් දහයකි. රියන් පහක් උස වූ එහි පරිධිය රියන් තිහකි. එහි ගැටිය යට වටේට ම රියනකට කැකිරි ගෙඩි දහයක් බැගින් විය. කැකිරි ගෙඩි මුහුදු තටාකය සමඟ ම දෙපේළියකට තනි වාත්තුවෙන් නිම කෙරිණි. මුහුදු තටාකය, ගව රූප දොළොසක් මත පිහිටිණ. තිදෙනෙක් උතුරු දෙසට ද තිදෙනෙක් බටහිර දෙසට ද තිදෙනෙක් දකුණු දෙසට ද තිදෙනෙක් නැගෙනහිර දෙසට ද මූණ ලා සිටියහ. මුහුදු තටාකය උන් පිට තිබිණ. උන්ගේ පසු ගාත් ඇතුළු පැත්තට පිහිටා තිබිණ. එහි ගනකම අත්ලකි. එහි ගැටිය කුසලාන් ගැටියක මෙන් මානෙල් මලක හැඩාකාර විය. එහි බාත් තුන්දහසක් අල්ලයි. ඉන්පසු ඔහු සේදීම් පිණිස භාජන දහයක් ද සාදා, පහක් දකුණු පැත්තේ ද පහක් වම් පැත්තේ ද තැබී ය. ඒවා, දවන යාග පූජා සඳහා භාවිත කළ දෑ සේදීමට ය. එහෙත් මුහුදු තටාකය පූජකයින්ගේ සේදීම පිණිස ය. ඔහු රන් පහන් රුක් දහයක් නිර්දේශිත පරිදි සාදා, දේව මාලිගය තුළ දකුණු පැත්තේ පහක් ද වම් පැත්තේ පහක් ද තැබී ය. ඔහු මේස දහයක් ද සාදා, දේව මාලිගයේ දකුණු පැත්තේ පහක් ද වම් පැත්තේ පහක් ද තැබී ය. ඔහු රන් පාත්‍ර සියයක් ද සෑදී ය. පූජකයින්ගේ මළුව ද මහ මළුව ද මළුවේ දොරවල් ද සෑදූ ඔහු ඒ දොරවල් ලෝකඩින් වැසුවේ ය. ඔහු මුහුදු තටාකය ගෘහයේ දකුණු පැත්තේ, ගිනිකොන කෙළවරේ පිහිටුවී ය. හූරාම් හැළි, හැඳි හා පාත්‍ර ද සෑදී ය. තවද හූරාම්, දෙවියන්වහන්සේගේ ගෘහයෙහි, සාලමොන් රජු උදෙසා කළ වැඩය නිම කළේ ය: කුලුනු දෙක; පාත්‍ර, කුලුනු මුදුන් පිට වූ පේකඩ දෙක; කුලුනු මුදුන් පිට වූ පේකඩවල පාත්‍ර දෙක ආවරණ කරන දැල් වැඩ යුගල, දැල් වැඩ දෙක සඳහා දෙළුම් ගෙඩි හාරසියයක්; කුලුනු මුදුන් පිට තිබූ පේකඩවල පාත්‍ර දෙක ආවරණ කරන එක් දැල් වැඩකට දෙළුම් ගෙඩි පේළි දෙක බැගින්. ඔහු සිටුවන-තට්ටු හා සිටුවන-තට්ටු මත බේසම්; මුහුදු තටාකය හා ඊට යටින් ගව රූප දොළොස සෑදී ය. හැළි, හැඳි, මස් කොකු හා ඒවාට අදාළ සියලු උපකරණ. සාලමොන් රජු වෙනුවෙන්, ස්වාමින්වහන්සේගේ ගෘහය සඳහා හූරාම්-ආබි සියලු භාණ්ඩ සෑදුවේ ඔප දැමූ ලෝකඩවලිනි. රජු මේ භාණ්ඩ වාත්තු කරවූයේ යොර්දාන් මිටියාවතේ සුක්කොත් හා සරෙදාතා අතර මැටි බිමේ ය. සාලමොන් මේ සියලු දෑ සෑදුවේ ය. ඒවායේ ලෝකඩවල බර කොතෙක්දැයි නිගමන කළ නො හැකි තරමට අති මහත් ගණනක් විය. සාලමොන්, දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇති භාණ්ඩ සියල්ල ද සෑදී ය: රන් පූජාසනය; දේවාභිමුඛ රොටි තබන මේස; නියමිත පරිදි ඇතුළු ශුද්ධස්ථානය ඉදිරිපිට දල්වන පිණිස පවිත්‍ර රනින් සෑදූ පහන් රුක් හා ඒවායේ පහන්; අමිශ්‍ර තනි රනින් මල්, පහන් හා අඬු; පවිත්‍ර රනින් කළ පහන් තිර කපන කතුරු, පාත්‍ර, දීසි හා දුම් භාජන; දේව මාලිගයේ පිවිසුම; දොරවල්: අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් හා ප්‍රධාන ශාලාවේ දොරවල් ද රත්තරනින් විය.

