2 ලේකම් 34:22-33

2 ලේකම් 34:22-33 SCV

එබැවින් හිල්කීයා සහ රජු පිටත් කර යැවූ අය හුල්දා දිවැසිවරිය වෙත ගියහ. යෙරුසලමේ දෙවන වසමේ විසූ ඇඳුම් ආයිත්තම් භාරකරු වූ හස්රාගේ පුත්‍ර තොක්හත්ගේ පුත්‍ර ෂල්ලූම්ගේ බිරිඳ ඇයයි. ඈ ඔවුන්ට කියා සිටියේ, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මා වෙත නුඹලා එවූ මිනිසාට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙන්න! මෙම මේ ස්ථානයටත්, එහි වෙසෙන ජනයා පිටටත් මම විපත්තිය, යූදාහි රජු ඉදිරියේ කියවන ලද පොතේ ලියන ලද සියලු ම ශාප ගෙනෙන්නෙමි. මන්ද ඔවුන් මා අත්හැර දමා, වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් තමන්ගේ අත්වල හැම වැඩවලින් ඔවුන් මා කෝප ගැන් වූ බැවින්, මගේ උදහස මෙම ස්ථානය පිට වගුරුවනු ලැබේ; එය නිවා දමනු නො ලැබේ.’ එහෙත් ස්වාමින්වහන්සේගෙන් විමසන පිණිස නුඹලා එවූ යූදාහි රජුට ඔබ මෙසේ කිව යුතුයි: ‘ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔබ ඇසූ වචන සම්බන්ධවයි; මේ ස්ථානයටත්, එහි ජනයාටත් එරෙහි උන්වහන්සේගේ වචන ඇසූ කල, ඔබ හදවතින් ප්‍රතිචාර දක්වා, දෙවියන්වහන්සේ අබියස ඔබ යටහත් වූ බැවින්, මා අබියස ඔබ ම යටහත් වී, ඔබේ හැඳිවත් ඉරාගෙන, මා අබියස වැලපුණු බැවින් මම ඔබට සවන් දුනිමියි ස්වාමින්වහන්සේ පවසන සේක. ඔන්න! මම ඔබේ පියවරුන් අතරට ඔබ එකතු කරන්නෙමි; සමාදානය ඇතුව ඔබ මිනී වළට යනු ඇත. මෙම ස්ථානය පිට හා එහි වාසය කරන්නන් පිට මා පමුණු වන මුළු විපත්තිය ඔබේ ඇස්වලින් දකිනු නැත’ කියා” යි කීවා ය. ඔවුහු මෙම වචනය රජු වෙත ගෙන ගියහ. ඉන්පසු රජු පණිවුඩ යවා, යූදා සහ යෙරුසලම් වැඩිහිටි සියල්ලන් එකට එක් රැස් කළේ ය. රජු ස්වාමින්වහන්සේගේ ගෘහයට ගියේ, යූදාහි සියලු ජනයා ද යෙරුසලමෙහි වාසය කරන්නන් ද පූජකයින් හා ලෙවීවරුන් ද ලොකු කුඩා සියලු ජනයා ද සමඟිනි. ස්වාමින්වහන්සේගේ ගෘහයේදී හමුව තිබූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී ඔහු කියවී ය. ඉන්පසු රජු තමාගේ ස්ථානයේ සිටගෙන, ස්වාමින්වහන්සේ අනුගමන කිරීමටත්, උන්වහන්සේගේ ආඥා, උන්වහන්සේගේ පනත් හා උන්වහන්සේගේ නියෝග තමාගේ මුළු හදවතින් ද තමාගේ මුළු ජීවයෙන් ද පිළිපැදීමටත්, මෙම පොතේ ලියනු ලැබ ඇති ගිවිසුමේ වචන ඉෂ්ට කිරීමටත් ස්වාමින්වහන්සේ අබියස ගිවිසුමක් කළේ ය. ඔහු ඉන්පසු, යෙරුසලමේ හා බෙන්යමින්හි සිටියවුන් ඊට ප්‍රතිඥා දෙන්නට සැලැස්වී ය. යෙරුසලමේ වාසය කරන්නෝ දෙවියන්වහන්සේගේ, තම පියවරුන්ගේ දෙවියන්වහන්සේගේ ගිවිසුමට අනුකූලව ක්‍රියා කළහ. තවද යොෂීයා, ඉශ්‍රායෙල් ජනතාවට අයත් භූමි ප්‍රදේශ සියල්ලෙහි වූ සියලු පිළිකුල් දෑ ඉවත් කළේ ය. ඉශ්‍රායෙල්හි සිටි සියලු දෙනා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සේවය කරන්නට ඔහු සැලැස්වී ය. ඔහුගේ සියලු දවස්හි ඔවුන් තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුගමන කිරීමෙන් ඉවත හැරුණේ නැත.

2 ලේකම් 34:22-33 සඳහා වීඩියෝව

2 ලේකම් 34:22-33 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය