2 ලේකම් 34:22-28

2 ලේකම් 34:22-28 SCV

එබැවින් හිල්කීයා සහ රජු පිටත් කර යැවූ අය හුල්දා දිවැසිවරිය වෙත ගියහ. යෙරුසලමේ දෙවන වසමේ විසූ ඇඳුම් ආයිත්තම් භාරකරු වූ හස්රාගේ පුත්‍ර තොක්හත්ගේ පුත්‍ර ෂල්ලූම්ගේ බිරිඳ ඇයයි. ඈ ඔවුන්ට කියා සිටියේ, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මා වෙත නුඹලා එවූ මිනිසාට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙන්න! මෙම මේ ස්ථානයටත්, එහි වෙසෙන ජනයා පිටටත් මම විපත්තිය, යූදාහි රජු ඉදිරියේ කියවන ලද පොතේ ලියන ලද සියලු ම ශාප ගෙනෙන්නෙමි. මන්ද ඔවුන් මා අත්හැර දමා, වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් තමන්ගේ අත්වල හැම වැඩවලින් ඔවුන් මා කෝප ගැන් වූ බැවින්, මගේ උදහස මෙම ස්ථානය පිට වගුරුවනු ලැබේ; එය නිවා දමනු නො ලැබේ.’ එහෙත් ස්වාමින්වහන්සේගෙන් විමසන පිණිස නුඹලා එවූ යූදාහි රජුට ඔබ මෙසේ කිව යුතුයි: ‘ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔබ ඇසූ වචන සම්බන්ධවයි; මේ ස්ථානයටත්, එහි ජනයාටත් එරෙහි උන්වහන්සේගේ වචන ඇසූ කල, ඔබ හදවතින් ප්‍රතිචාර දක්වා, දෙවියන්වහන්සේ අබියස ඔබ යටහත් වූ බැවින්, මා අබියස ඔබ ම යටහත් වී, ඔබේ හැඳිවත් ඉරාගෙන, මා අබියස වැලපුණු බැවින් මම ඔබට සවන් දුනිමියි ස්වාමින්වහන්සේ පවසන සේක. ඔන්න! මම ඔබේ පියවරුන් අතරට ඔබ එකතු කරන්නෙමි; සමාදානය ඇතුව ඔබ මිනී වළට යනු ඇත. මෙම ස්ථානය පිට හා එහි වාසය කරන්නන් පිට මා පමුණු වන මුළු විපත්තිය ඔබේ ඇස්වලින් දකිනු නැත’ කියා” යි කීවා ය. ඔවුහු මෙම වචනය රජු වෙත ගෙන ගියහ.