2 ලේකම් 33:9-25

2 ලේකම් 33:9-25 SCV

එහෙත් මනස්සේ විසින් යූදා සහ යෙරුසලම් වාසීන් මුළා කරනු ලැබූ හේතුවෙන් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරිපිටින් විනාශ කර දමා තිබූ ජාතීන්ට වඩා ඔවුහු නපුරු දේ කළෝ ය. ස්වාමින්වහන්සේ මනස්සේට හා ඔහුගේ ජනයාට කතා කළ නමුදු ඔවුන් කන් දුන්නේ නැත. එබැවින් ස්වාමින්වහන්සේ ඔවුනට එරෙහිව අසිරියාවේ රජුගේ හමුදා සෙන්පතීන් ගෙන ආ සේක. ඔවුහු මනස්සේ කොකුවලින් අල්ලා, ලෝකඩ දම්වැලෙන් ඔහු බැඳ, බබිලෝනියට ගෙන ආහ. මෙසේ ඔහු පීඩාවට පත් ව සිටියදී ඔහු තමාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පිහිට පතා ආයාචනා කරමින්, තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අතිශයෙන් ම යටත් වූයේ ය. ඔහු උන්වහන්සේට යාච්ඤා කළේ ය. උන්වහන්සේ ඔහුගේ ආයාචනය පිළිගත් සේක්, ඔහුගේ කන්නලව්ව අසා, යෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යටත් යළි ඔහු ගෙනා සේක. ස්වාමින්වහන්සේ, සැබවින් ම දෙවියන්වහන්සේ වග එවිට මනස්සේ දැනගත්තේ ය. දාවිත් පුරය සඳහා මිටියාවතේ ගීහොන් උල්පතට බස්නාහිරින් මත්ස්‍ය දොරටු පිවිසුම තෙක් දිවෙන පිටත තාප්පයක් ගොඩ නැංවී ය. ඔහු එය ඔෆෙල් වටා යන පරිදි ඉතා උසට නැංවී ය. ඔහු යූදාහි සියලු බළකොටු පුරවර තුළ හමුදා සෙන්පතීන් ද සිටුවී ය. විදේශීය දෙවිවරුන් සහ දේව රූප ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් ඉවත් කළ ඔහු, ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද මත හා යෙරුසලමේ ඔහු ගොඩ නගා තිබූ සියලු පුදසුන් ද ඉවත් කර, ඒවා පුරවරයෙන් පිටත හෙළා දැමී ය. ඔහු ස්වාමින්වහන්සේගේ පූජාසනය යළි පිහිටුවා, ශාන්ති පූජා හා ස්තුති දීමේ පූජා ඔප්පු කළේ ය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට මෙහෙ කරන ලෙස ඔහු යූදා ජනයාට නියෝග කළේ ය. කෙසේ වුව ද ජනයා තවමත් උස් තැන් පුදසුන්හි යාග ඔප්පු කළහ. එහෙත් ඒ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණි. මනස්සේ සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ දෙවියන්වහන්සේ වෙත ඔහුගේ යාච්ඤාව ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේගේ නාමයෙන් අනාගතවක්තෘවරුන් ඔහුට පැවසූ වචන ද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. ඔහුගේ යාච්ඤාව හා ඔහුගේ ආයාචනය දෙවියන්වහන්සේ පිළිගත් අයුරු ද ඔහු තමා ම යටත්වීමට කලින් ඔහුගේ පාප සියල්ල ද නො ඇදහිලිවන්තකම ද ඔහු ඉදිකරන ලද අෂේරා කණු හා රූපස්ථම්භ පිහිටි භූමි ද පිළිබඳව, අනාවැකි පවසන්නන්ගේ වාර්තාවල සඳහන් ය. මනස්සේ තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහුගේ ගෘහයෙහි ඔවුහු ඔහු භූමදාන කළහ. ඔහුගේ පුත්‍ර ආමොන් රජකමට පත් විය. ආමොන් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමෙහි අවුරුදු දෙකක් රජකම් කළේ ය. ඔහු, තම පියා වූ මනස්සේ කළ පරිද්දෙන් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි කළේ දුෂ්ටකම් ය. ආමොන්, තම පියා වූ මනස්සේ සාදා තිබූ සියලු පිළිමවලට යාග කළේ ය; ඒවාට මෙහෙ කළේ ය. ඔහු, තමාගේ පියා වූ මනස්සේ තමා ම යටහත් වූ පරිද්දෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ යටත් වූයේ නැත. එහෙත් මෙම ආමොන් වඩ වඩාත් වරදකාරිත්වයට නැඹුරු විය. ඔහුගේ නිලධාරීහු ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කර, නිවස තුළදී ඔහු මරා දැමූහ. එහෙත් දේශයේ ජනයා ආමොන් රජුට එරෙහිව කුමන්ත්‍රණ කළ සියල්ලන් මරා දැමූහ. දේශයේ ජනයා ඔහු වෙනුවට ඔහුගේ පුත් යොෂීයා රජකමට පත් කළහ.