2 ලේකම් 33:16-23
2 ලේකම් 33:16-23 SCV
ඔහු ස්වාමින්වහන්සේගේ පූජාසනය යළි පිහිටුවා, ශාන්ති පූජා හා ස්තුති දීමේ පූජා ඔප්පු කළේ ය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට මෙහෙ කරන ලෙස ඔහු යූදා ජනයාට නියෝග කළේ ය. කෙසේ වුව ද ජනයා තවමත් උස් තැන් පුදසුන්හි යාග ඔප්පු කළහ. එහෙත් ඒ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණි. මනස්සේ සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ දෙවියන්වහන්සේ වෙත ඔහුගේ යාච්ඤාව ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේගේ නාමයෙන් අනාගතවක්තෘවරුන් ඔහුට පැවසූ වචන ද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. ඔහුගේ යාච්ඤාව හා ඔහුගේ ආයාචනය දෙවියන්වහන්සේ පිළිගත් අයුරු ද ඔහු තමා ම යටත්වීමට කලින් ඔහුගේ පාප සියල්ල ද නො ඇදහිලිවන්තකම ද ඔහු ඉදිකරන ලද අෂේරා කණු හා රූපස්ථම්භ පිහිටි භූමි ද පිළිබඳව, අනාවැකි පවසන්නන්ගේ වාර්තාවල සඳහන් ය. මනස්සේ තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහුගේ ගෘහයෙහි ඔවුහු ඔහු භූමදාන කළහ. ඔහුගේ පුත්‍ර ආමොන් රජකමට පත් විය. ආමොන් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමෙහි අවුරුදු දෙකක් රජකම් කළේ ය. ඔහු, තම පියා වූ මනස්සේ කළ පරිද්දෙන් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි කළේ දුෂ්ටකම් ය. ආමොන්, තම පියා වූ මනස්සේ සාදා තිබූ සියලු පිළිමවලට යාග කළේ ය; ඒවාට මෙහෙ කළේ ය. ඔහු, තමාගේ පියා වූ මනස්සේ තමා ම යටහත් වූ පරිද්දෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ යටත් වූයේ නැත. එහෙත් මෙම ආමොන් වඩ වඩාත් වරදකාරිත්වයට නැඹුරු විය.

