2 ලේකම් 3:1-17

2 ලේකම් 3:1-17 SCV

එකල සාලමොන්, යෙරුසලමේ මොරීයා කන්දේ ස්වාමින්වහන්සේගේ ගෘහය ඉදි කිරීම ඇරඹී ය. ඒ, ඔහුගේ පියා වූ දාවිත්ට ස්වාමින්වහන්සේ පෙනුණු ස්ථානය ය; යෙබූසීය ඔර්ණාන්ගේ කමතේ දාවිත් නියම කර තිබූ ස්ථානය ය. ඔහු තම පාලනයේ හතර වන වසරේ දෙවන මාසයේ දෙවන දින ඉදි කිරීම ඇරඹී ය. දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩ නැගීමට සාලමොන් තැබූ අත්තිවාරම දිගින්, පැරණි සම්මත රියන්වලින් රියන් හැටකි. පළලින් රියන් විස්සකි. ගෘහයේ ප්‍රධාන ශාලාව ඉදිරිපස පිවිසුමේ දිග, ගෘහයේ පළල මෙන් ම රියන් විස්සකි. එහි උස, රියන් එකසිය විස්සකි. ඔහු එහි ඇතුළත පවිත්‍ර රනින් වැසුවේ ය. ඔහු ප්‍රධාන ශාලාව, සයිප්‍රස් ලී ගසා, එය පවිත්‍ර රනින් වසා, ඉඳි ගස් හා දම්වැල් සිත්තමින් එය සැරසී ය. ඔහු අනර්ඝ මැණික් ගලින් ගෘහය අලංකාර කළේ ය. එම රත්රන් පර්වායිම්හි රත්රන් ය. ගෘහයේ වහලයේ බාල්ක ද උළුවහු කණු ද බිත්ති ද දොරවල් ද රනින් වැසූ ඔහු බිත්ති මත කෙරුබ් රූප කැටයම් කළේ ය. ඔහු අතිශුද්ධස්ථානය සෑදුවේ ය. එහි දිග, ගෘහයේ පළලට අනුරූපී ව රියන් විස්සකි. එහි පළල රියන් විස්සකි. ඔහු පවිත්‍ර රන් තලෙන්ත හයසියයකින් එහි ඇතුළත වැසී ය. රත්රන් ඇණවල බර ෂෙකෙල් පනහකි. ඔහු උඩු මහල් කාමර ද රනින් වැසී ය. ඔහු අතිශුද්ධස්ථානය තුළ කෙරුබ්වරුන් යුගලයක් සාදා, එය රනින් වැසී ය. විදහාගත් කෙරුබ් පියාපත්වල මුළු දිග රියන් විස්සකි. එක් කෙරුබ්වරයකුගේ පියාපතක දිග රියන් පහකි. එය ගෘහයේ බිත්තිය හා ස්පර්ශ විය. අනෙක් පියාපතේ දිග රියන් පහකි. එම පියාපත අනෙක් කෙරුබ් පියාපත හා ස්පර්ශ විය. අනෙක් කෙරුබ්වරයාගේ පියාපතක දිග රියන් පහකි. එය ගෘහයේ බිත්තිය හා ස්පර්ශ විය. අනෙක් පියාපතේ දිග රියන් පහකි. එය පළමු කෙරුබ් පියාපත හා ස්පර්ශ විය. මේ කෙරුබ් පියාපත් රියන් විස්සක් දිගට විහිදිණි. කෙරුබ්වරුන් ප්‍රධාන ශාලාවට මුහුණ ලා තම පාදවලින් සිටගෙන සිටින ලෙස පිහිටා තිබිණි. ඔහු තිරය, නිල්, දම් හා රතු පාට නූලින් ද සිහින් හණ පිළියෙන් ද නිමවා, ඒ මත කෙරුබ් රූප සිත්තම් කළේ ය. ඔහු ගෘහය ඉදිරිපිට රියන් තිස්පහක් උසැති කුලුනු දෙකක් සෑදී ය. කුලුනු මුදුන් පිට පස්රියන් පේකඩයකි. දම්වැල් සාදා ඒවා කුලුනු පිට තැබූ ඔහු දෙළුම් ගෙඩි සියයක් ලෝකඩින් සාදා, ඒවා දම්වැල්වල එල්ලුවේ ය. ඔහු ඒ කුලුනු දේව මාලිගය ඉදිරිපිට සිටුවී ය. ඔහු එකක් දකුණු පස ද එකක් වම් පස ද සිටුවී ය. ඔහු දකුණු පස එක යාකින් කියා ද වම් පස එක බෝවස් කියා ද නම් තැබී ය.