2 ලේකම් 27:1-9

2 ලේකම් 27:1-9 SCV

යෝතාම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම යෙරූෂා ය. ඈ සාදෝක්ගේ දියණියයි. ස්වාමින්වහන්සේගේ මාලිගයට ඔහු ඇතුල් නො වීම හැර, ඔහු තම පියා වූ උස්සියා කර තිබූ සියල්ල පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කළේ ය. එහෙත් ජනයා දිගට ම දූෂිත ක්‍රියාකාරකම්වල නිරත වූහ. ස්වාමින්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩ නැගූ ඔහු ඔෆෙල් පවුරෙහි බොහෝ ඉදිකිරීම් කළේ ය. තවද ඔහු යූදා කඳුකරයේ නගර ඉදි කළේ ය. වන ගහන කඳුකරයේ බළකොටු හා කුලුනු තැනවී ය. ඔහු අම්මොන්වරුන්ගේ රජු සමඟ සටන් කොට, ඔවුන්ගෙන් ජය ගත්තේ ය. අම්මොන්වරු ඒ අවුරුද්දේ ඔහුට රිදී තලෙන්ත සියයක් ද තිරිඟු සහ යව කෝර දසදහස බැගින් ද දුන්හ. දෙවන හා තුන් වන අවුරුදුවලදී ද අම්මොන්වරු ඔහුට එම ප්‍රමාණය ම ගෙවූහ. මෙසේ යෝතාම් බලවත් විය. මන්ද ඔහු තමාගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ තම මාර්ග පවත්වා ගත්තේ ය. යෝතාම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ යුද්ධ හා ඔහුගේ මාර්ග ගැන ද ඉශ්‍රායෙල් හා යූදා රජවරුන්ගේ පොතේ ලියැවී තිබේ. යෝතාම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. යෝතාම් තම පියවරුන් සමඟ සැතපුණෙන්, ඔවුහු දාවිත් පුරයේ ඔහු භූමදාන කළහ. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජකමට පත් විය.