යෙරුසලමේ ජනතාව, ඔහු වෙනුවට යෙහෝරාම්ගේ බාල පුත් අහසියා, රජකමට පත් කළහ. මන්ද අරාබිවරුන් සමඟ කඳවුර තුළට පැමිණි ආක්රමණිකයින් විසින් වැඩිමහල් පුතුන් සියලු දෙනා මරා දමා තිබිණි. එබැවින් යූදා රජු වූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කරන්නට පටන් ගත්තේ ය. අහසියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමේ එක් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඇය ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ද ආහාබ්ගේ වංශයේ මාර්ගවල පැවතිණ. මන්ද දුෂ්ටකම් කිරීමට ඔහුට උපදෙස් දුන්නේ ඔහුගේ මවයි. ආහාබ්ගේ වංශය කර තිබූ පරිද්දෙන් ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය. මන්ද ඔහුගේ පියාගේ අභාවයෙන් පසු ඔහු විනාශයට පත් වන පිණිස ඔහුගේ උපදේශකයින් වූයේ ඔවුන් ය. ඔහු ඔවුන්ගේ උපදෙස් පිළිපැද, ඉශ්රායෙල් රජු වූ ආහාබ්ගේ පුත් යෙහෝරාම් සමඟ අරාම්හි රජු වූ හසායෙල්ට එරෙහිව රාමොත්-ගිලියාද්හි යුද්ධ කරන්නට ගියේ ය. අරාම්වරු යෙහෝරාම්ට තුවාල කළහ. එබැවින් අරාම්හි රජු වූ හසායෙල් සමඟ රාමාහි සටනේදී ඔවුන් ඔහුට කළ තුවාල සුව කර ගැනීමට ඔහු යෙස්රෙයෙල් වෙත ආපසු ආවේ ය. ආහාබ්ගේ පුත් යෙහෝරාම් තුවාල ලබා සිටි බැවින්, ඔහු බලන්නට යූදාහි රජු වූ යෙහෝරාම්ගේ පුත් අසරියා, යෙස්රෙයෙල් වෙත ගියේ ය. එහෙත් අහසියා, යෝරාම් බලන්නට යෑම නිසා එමඟින් ඔහුගේ වැටීයාම දෙවියන්වහන්සේ විසින් නියම කෙරිණි. අහසියා පැමිණි කල ඔහු යෙහෝරාම් කැටුව නිම්ෂීගේ පුත් යේහූ මුණගැසෙන පිණිස පිටත් ව ගියේ ය. ආහාබ්ගේ වංශය විනාශ කිරීමට ස්වාමින්වහන්සේ ආලේප කර තිබූ තැනැත්තා ඔහු ය. යේහූ, ආහාබ්ගේ වංශය පිට විනිශ්චය ඉටු කරමින් සිටියදී, යූදා අධිපතීන් ද අහසියාට මෙහෙ කළ අහසියාගේ සහෝදරයින්ගේ පුතුන් ද ඔහුට හමු විණි. ඔහු ඔවුන් මරා දැමී ය. ඉන්පසු ඔහු අහසියා සොයා ගියේ ය. ඔහු සමාරියේ සැඟවී සිටියදී ඔහුගේ මිනිස්සු ඔහු අල්ලා ගත්හ. ඔහු යේහූ වෙත ගෙනෙන ලදුව මරා දැමිණ. ඔවුහු කතා කොට, “මොහු තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේ සෙවූ යෙහෝෂාෆාට්ගේ පුතෙකැ” යි පවසමින්, ඔහු භූමදාන කළහ. එබැවින් රාජ්‍යය ඉදිරියට ගෙන යන්නට කෙනකු අහසියාගේ වංශයේ සිටියේ නැත.
2 ලේකම් 22 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 ලේකම් 22:1-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ