2 ලේකම් 21:1-20
2 ලේකම් 21:1-20 SCV
යෙහෝෂාෆාට් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු තම පියවරුන් සමඟ දාවිත් පුරයේ භූමදාන කෙරිණ. ඔහුගෙන් පසු ඔහුගේ පුත් යෙහෝරාම් රජකමට පත් විය. ඔහුගේ සහෝදරයින් වූ යෙහෝෂාෆාට්ගේ පුත්‍රයින් නම් අසරියා, යෙහීයෙල්, සෙකරියා, අසරියා, මිකායෙල් හා ෂෙෆටියා ය. ඒ සැවොම ඉශ්‍රායෙල් රජු වූ යෙහෝෂාෆාට්ගේ පුත්‍රයෝ ය. ඔවුන්ගේ පියා ත්‍යාග වශයෙන් රිදී හා රත්රන් ද අනර්ඝ භාණ්ඩ ද යූදා තුළ වූ බළකොටු පුරවර ද ඔවුන්ට දුන්නේ ය. එහෙත් යෙහෝරාම් කුලුඳුල් පුත්‍රයා බැවින් රජකම ඔහුට පවරා දුන්නේ ය. යෙහෝරාම් තම පියාගේ රාජ්‍යයෙහි ස්ථාවර වූ කල, තමන්ගේ සහෝදරයින් සියලු දෙනා හා ඉශ්‍රායෙල් අධිපතීන් කීප දෙනකු කඩුවෙන් මරා දැමී ය. යෙහෝරාම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු තිස්දෙකක් විය. ඔහු යෙරුසලමේ අවුරුදු අටක් රජකම් කළේ ය. ආහාබ්ගේ වංශය කර තිබූ පරිදි ඔහු ඉශ්‍රායෙල් රජවරුන්ගේ අඩිපාරේ ගියේ ය. මන්ද ඔහු ආහාබ්ගේ දියණියක ආවාහ කර ගෙන සිටියේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. එහෙත් ස්වාමින්වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසා දාවිත්ගේ වංශය විනාශ කරන්නට නො කැමති වූයේ උන්වහන්සේ ඔහුටත්, ඔහුගෙන් පැවත එන්නවුන්ටත් සදහට ම පහනක් දෙන්නට පොරොන්දු වී සිටි බැවිනි. ඔහුගේ කාලයේ ඒදොම්වරු යූදා රාජ්‍යයට එරෙහිව කැරලි ගසා, තමන්ට රජකු පත් කර ගත්හ. එබැවින් යෙහෝරාම් තම නිලධාරීන් ද තම යුද්ධ රථ සියල්ල ද කැටුව එහි ගියේ ය. ඒදොම්වරු ඔහු ද ඔහුගේ යුද්ධ රථ සෙන්පතීන් ද වට කළහ. එහෙත් ඔහු රාත්‍රියේ නැගිට ඔවුන්ට පහර දුන්නේ ය. අද දවස දක්වා ම ඒදොම්, යූදාට එරෙහිව කැරලි ගසයි. ඒ කාලයේ ම ලිබ්නා ද ඔහුගේ පාලනය යටතින් ඉවත් විය. එසේ වූයේ යෙහෝරාම් තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ නිසා ය. එපමණක් නො ව ඔහු යූදා කඳු පිට උස් තැන් පුදසුන් තනා, යෙරුසලම් වාසීන්ට ද්‍රෝහි වන්නට සලස්වා, යූදාට මුළාව යන්නට සැලසී ය. දිවැසිවර එලියාගෙන් ඔහුට ලිපියක් ලැබිණ. එහි මෙසේ කියා තිබිණ: “ඔබේ පියා වූ දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබ, ඔබේ පියා වූ යෙහෝෂාෆාට්ගේ හෝ යූදා රජ වූ ආසාගේ හෝ මාර්ගවල පැවතුණේ නැත. එහෙත් ඔබ ඉශ්‍රායෙල් රජවරුන්ගේ මාර්ගවල පැවතුණි. ආහාබ්ගේ වංශය කළ පරිදි ම ඔබ යූදා වාසීන් හා යෙරුසලම් වාසීන් වේශ්‍යාකම් කරන්නට සැලැස්වී ය. ඔබට වඩා යහපත් වූ, ඔබේ පියාගේ වංශයේ සාමාජිකයින් වූ ඔබේ ම සහෝදරයින් ඔබ මරා දැමී ය. එසේ හෙයින් මෙන්න, ස්වාමින්වහන්සේ ඔබේ ජනතාවට ද ඔබේ පුතුන්ට ද ඔබේ භාර්යාවන්ට ද ඔබ සන්තක සියල්ලට ද දරුණු වසංගතයකින් පහර දෙන සේක. දරුණු බඩවැල් රෝගයකින් ඔබ බොහෝ රෝගාතුර වනු ඇත. ඔබේ රෝගය නිසා දිනෙන් දින ඔබේ බඩවැල් වැටී යනු ඇත.’ ” ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ගේ ද කූෂ්වරුන් අසල විසූ අරාබිවරුන්ගේ ද කෝපය යෙහෝරාම්ට එරෙහිව ඇවුළූ සේක. ඔවුහු යූදාට එරෙහිව අවුත්, එය ආක්‍රමණ කොට, රජ මැදුරට අයත් ව තිබූ සියලු භාණ්ඩ ඇතුළු ව ඔහුගේ පුතුන් ද භාර්යාවන් ද අල්ලාගෙන ගියහ. බාලයා වූ යෙහෝවාහාස් හැර වෙන කිසි පුතකු ඔහුට ඉතිරි නො වී ය. මේ සියල්ලට පසු සුව කළ නො හැකි බඩවැල් රෝගයකින් ස්වාමින්වහන්සේ ඔහුට පහර දුන් සේක. ටික කලකට පසු, දෙවන වසර අගදී එම රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේ ය. ඔහු දරුණු වේදනාවෙන් යුතු ව මිය ගියේ ය. ඔහුගේ ජනතාව ඔහුගේ පියවරුන්ට කර තිබූ පරිදි ඔහුගේ ගෞරවය සඳහා ගිනි මැලයක් දැල්වූයේ නැත. යෙහෝරාම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු තිස්දෙකක් විය. ඔහු යෙරුසලමෙහි අට වසරක් රජකම් කළේ ය. ඔහු මිය ගිය කල කිසිවකු ශෝක වූයේ නැත. ඔහු දාවිත් පුරයේ භූමදාන කෙරිණි. එහෙත් රජුන්ගේ සොහොන්වල නො වේ.

