2 ලේකම් 20:6-12

2 ලේකම් 20:6-12 SCV

මෙසේ පැවසී ය: “අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ස්වර්ගයේ සිටින දෙවියන්වහන්සේ ඔබ නො වේ ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් පාලනය කරන්නේ ඔබයි. බලයත්, පරාක්‍රමයත් ඔබ හස්තයේ හෙයින් කවරකුටවත් ඔබට එරෙහිව සිටිය නො හැකි ය. ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ඉදිරිපිටින් මේ දේශ වාසීන් පන්නා, ඔබේ මිත්‍ර ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ට සදහට ම එය දුන් අපගේ දෙවියන්වහන්සේ, ඔබවහන්සේ නො වේ ද? ඔවුහු එහි වාසය කළෝ, ඔබගේ නාමය උදෙසා එහි ශුද්ධස්ථානයක් ඉදිකළෝ, ‘අප පිට යම් ව්‍යසනයක් වන අසිපත, විනිශ්චය, හෝ වසංගතය හෝ සාගතය පැමිණියොත්, අපගේ විපතේදී ඔබේ නාමය දරන මේ ගෘහය ඉදිරිපිට ඔබ අබියස අපි ඔබට මොරගසන්නෙමු. ඔබ අපට සවන් දී, අප ගලවන සේකැ’ යි පැවසූහ. “එහෙත් බැලුව මැනව! ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට ආ කල, දැන් මෙහි සිටින අම්මොන්, මෝවබ් හා සේයිර් කඳුකර මිනිසුන්ගේ පළාත ආක්‍රමණ කරන්නට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් සේක. එබැවින් ඔවුහු ඔවුන් විනාශ නො කොට, ඔවුන්ගෙන් ඉවත් ව ගියහ. බැලුව මැනව! උරුමයක් වශයෙන් ඔබ අපට දුන් දේශයෙන් අප පන්නා දමන්නට ඔවුන් පැමිණීමෙන් ඔවුන් අපට පල විපාක දෙන අයුරු. අහෝ අපගේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය කරන්නේ නැද්ද? මන්ද අපට එරෙහිව පැමිණෙන මේ සුවිශාල හමුදාවට මූණ දෙන්නට අපට ශක්තියක් නැත. කුමක් කරන්නදැයි අපි නො දනිමු. එහෙත් අපගේ ඇස් ඔබ වෙත යැ” යි පැවසූහ.