2 ලේකම් 20:20-26

2 ලේකම් 20:20-26 SCV

අලුයම් උදය නැගුටුණු ඔවුහු තෙකෝවා කාන්තාරයට පිටත් ව ගියහ. ඔවුන් පිටත් ව යන කල යෙහෝෂාෆාට් නැගිට කතා කරමින්, “සවන් දෙන්න මට, යූදාවරුනි, යෙරුසලම් වැසියෙනි, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. එවිට ඔබ ස්ථාවර වනු ඇත. උන්වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. ඔබ සාර්ථක වනු ඇතැ” යි පැවසී ය. ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෙහෝෂාෆාට්, හමුදාවට පෙරටුව යමින්, “ස්වාමින්වහන්සේට ස්තුති පුදන්න. මන්ද උන්වහන්සේගේ නොමියෙන පෙම සදහට පවත්නේ යැ” යි පවසමින්, ස්වාමින්වහන්සේට ගායනා කරන්නන් හා උන්වහන්සේගේ ශුද්ධකමේ අලංකාරය ගැන ප්‍රශංසා කරන්නන් පත් කළේ ය. ඔවුන් ගායනා කරන්නටත්, ප්‍රශංසා කරන්නටත් පටන් ගත් කල, යූදාට එරෙහිව පැමිණි අම්මොන්, මෝවබ් හා සේයිර් කඳුකර වාසීන්ට දැඩි පරාජයක් වන පිණිස ස්වාමින්වහන්සේ ඔවුන්ට එරෙහිව රහසේ රැක සිටින්නන් තැබූ සේක. අම්මොන් හා මෝවබ් මිනිස්සු සේයිර් කඳුකර වාසීන් විනාශ කර දමන්නට ඔවුන්ට එරෙහිව නැගිටුණහ. සේයිර් වාසීන් ඝාතන කර නිම වූ පසු, ඔවුහු සියල්ලෝ එකිනෙකා විනාශ කරන්නට උපකාර වූහ. යූදා ජනයා කාන්තාරයේ මුර කොටුවට අවුත්, ඒ සුවිශාල සේනාව දෙස බැලූ කල මෙන්න! ඔවුන් දුටුවේ බිම වැතිරී තිබූ මළ කඳන් පමණි. කිසිවකුත් බේරී සිටියේ නැත. එබැවින් යෙහෝෂාෆාට් හා ඔහුගේ මිනිස්සු ඔවුන්ගෙන් කොල්ලය ගැනීමට ආහ. විශාල ප්‍රමාණයෙන් වස්තුව ද ඇඳුම් ද වටිනා භාණ්ඩ ද ඒ අතර ඔවුන්ට හමු විය. ඔවුහු තමන්ට තවදුරටත් ගෙන යන්නට නො හැකි තරමට ඒ දේවල් එකතු කර ගත්හ. එම කොල්ලය ඒ සා විශාල ව තිබූ බැවින් එය එකතු කර ගන්නට ඔවුන්ට දවස් තුනක් ගත විය. හතර වන දවසේ ඔවුහු ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීමට බෙරාකා මිටියාවතේ එක් රැස් වූහ. එහිදී ඔවුන් උන්වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා ම එම මිටියාවත බෙරාකා නමින් හැඳින් වේ.

2 ලේකම් 20:20-26 සඳහා වීඩියෝව