2 ලේකම් 20:15-22

2 ලේකම් 20:15-22 SCV

ඔහු කතා කොට, “සවන් දෙන්න යූදාහි සියල්ලෙනි, යෙරුසලම් වැසියෙනි, යෙහෝෂාෆාට් රජතුමනි, ස්වාමින්වහන්සේ ඔබට මෙසේ පවසන සේක, ‘මේ සුවිශාල හමුදාව නිසා භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද යුද්ධය ඔබගේ නො වෙයි. දෙවියන්වහන්සේගෙයි. හෙට ඔවුන්ට එරෙහිව බැස යන්න. ඔවුන් සීස් මංකඩින් නැග එනු ඇත. යෙරූවෙල් කාන්තාරයේ ඇති දොරුව කෙළවරදී ඔවුන් ඔබට මුණ ගැසෙනු ඇත. මෙම යුද්ධයේදී ඔබ සටන් කළ යුතු නැත. ස්ථාවර ව සිටින්න. ඔබේ ස්ථානයේ රඳා සිටින්න; ඔබ උදෙසා ස්වාමින්වහන්සේගේ ගැලවීම බලා සිටින්න. එම්බා යූදා හා යෙරුසලම, භය වන්න එපා; කැලඹෙන්න එපා. හෙට ඔවුන්ට එරෙහිව යන්න. ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ’ යි” පැවසී ය. එවිට යෙහෝෂාෆාට් ඔහුගේ හිස නවා, ඔහුගේ මුහුණ බිමට නමා ගත්තේ ය. සියලු යූදා හා යෙරුසලම් වාසීහු ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, ස්වාමින්වහන්සේ අබියස වැඳ වැටුණහ. කොහාත්ගෙන් ද කෝරාගෙන් ද පැවත එන්නවුන් වූ ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහ හඬින් ප්‍රශංසා කරන්නට නැගිට, සිටගත්හ. අලුයම් උදය නැගුටුණු ඔවුහු තෙකෝවා කාන්තාරයට පිටත් ව ගියහ. ඔවුන් පිටත් ව යන කල යෙහෝෂාෆාට් නැගිට කතා කරමින්, “සවන් දෙන්න මට, යූදාවරුනි, යෙරුසලම් වැසියෙනි, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. එවිට ඔබ ස්ථාවර වනු ඇත. උන්වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. ඔබ සාර්ථක වනු ඇතැ” යි පැවසී ය. ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෙහෝෂාෆාට්, හමුදාවට පෙරටුව යමින්, “ස්වාමින්වහන්සේට ස්තුති පුදන්න. මන්ද උන්වහන්සේගේ නොමියෙන පෙම සදහට පවත්නේ යැ” යි පවසමින්, ස්වාමින්වහන්සේට ගායනා කරන්නන් හා උන්වහන්සේගේ ශුද්ධකමේ අලංකාරය ගැන ප්‍රශංසා කරන්නන් පත් කළේ ය. ඔවුන් ගායනා කරන්නටත්, ප්‍රශංසා කරන්නටත් පටන් ගත් කල, යූදාට එරෙහිව පැමිණි අම්මොන්, මෝවබ් හා සේයිර් කඳුකර වාසීන්ට දැඩි පරාජයක් වන පිණිස ස්වාමින්වහන්සේ ඔවුන්ට එරෙහිව රහසේ රැක සිටින්නන් තැබූ සේක.