2 ලේකම් 20:12-20

2 ලේකම් 20:12-20 SCV

අහෝ අපගේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය කරන්නේ නැද්ද? මන්ද අපට එරෙහිව පැමිණෙන මේ සුවිශාල හමුදාවට මූණ දෙන්නට අපට ශක්තියක් නැත. කුමක් කරන්නදැයි අපි නො දනිමු. එහෙත් අපගේ ඇස් ඔබ වෙත යැ” යි පැවසූහ. මුළු යූදා ජනතාව තම භාර්යාවන් ද දරුවන් ද අත දරුවන් ද සමඟ ස්වාමින්වහන්සේ අබියස සිටගෙන සිටියහ. එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එක් රැස් ව සිටි පිරිස අතර සිටගෙන සිටි ආසාෆ්ගෙන් පැවත එන්නෙක් ද ලෙවීයයෙක් ද වූ මත්තනියාගේ පුත්, යෙයීයෙල්ගේ පුත්, බෙනායාගේ පුත්, සෙකරියාගේ පුත් යහසීයෙල් පිට පැමිණි සේක. ඔහු කතා කොට, “සවන් දෙන්න යූදාහි සියල්ලෙනි, යෙරුසලම් වැසියෙනි, යෙහෝෂාෆාට් රජතුමනි, ස්වාමින්වහන්සේ ඔබට මෙසේ පවසන සේක, ‘මේ සුවිශාල හමුදාව නිසා භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද යුද්ධය ඔබගේ නො වෙයි. දෙවියන්වහන්සේගෙයි. හෙට ඔවුන්ට එරෙහිව බැස යන්න. ඔවුන් සීස් මංකඩින් නැග එනු ඇත. යෙරූවෙල් කාන්තාරයේ ඇති දොරුව කෙළවරදී ඔවුන් ඔබට මුණ ගැසෙනු ඇත. මෙම යුද්ධයේදී ඔබ සටන් කළ යුතු නැත. ස්ථාවර ව සිටින්න. ඔබේ ස්ථානයේ රඳා සිටින්න; ඔබ උදෙසා ස්වාමින්වහන්සේගේ ගැලවීම බලා සිටින්න. එම්බා යූදා හා යෙරුසලම, භය වන්න එපා; කැලඹෙන්න එපා. හෙට ඔවුන්ට එරෙහිව යන්න. ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ’ යි” පැවසී ය. එවිට යෙහෝෂාෆාට් ඔහුගේ හිස නවා, ඔහුගේ මුහුණ බිමට නමා ගත්තේ ය. සියලු යූදා හා යෙරුසලම් වාසීහු ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, ස්වාමින්වහන්සේ අබියස වැඳ වැටුණහ. කොහාත්ගෙන් ද කෝරාගෙන් ද පැවත එන්නවුන් වූ ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහ හඬින් ප්‍රශංසා කරන්නට නැගිට, සිටගත්හ. අලුයම් උදය නැගුටුණු ඔවුහු තෙකෝවා කාන්තාරයට පිටත් ව ගියහ. ඔවුන් පිටත් ව යන කල යෙහෝෂාෆාට් නැගිට කතා කරමින්, “සවන් දෙන්න මට, යූදාවරුනි, යෙරුසලම් වැසියෙනි, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. එවිට ඔබ ස්ථාවර වනු ඇත. උන්වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. ඔබ සාර්ථක වනු ඇතැ” යි පැවසී ය.