“එහෙත් බැලුව මැනව! ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට ආ කල, දැන් මෙහි සිටින අම්මොන්, මෝවබ් හා සේයිර් කඳුකර මිනිසුන්ගේ පළාත ආක්‍රමණ කරන්නට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් සේක. එබැවින් ඔවුහු ඔවුන් විනාශ නො කොට, ඔවුන්ගෙන් ඉවත් ව ගියහ. බැලුව මැනව! උරුමයක් වශයෙන් ඔබ අපට දුන් දේශයෙන් අප පන්නා දමන්නට ඔවුන් පැමිණීමෙන් ඔවුන් අපට පල විපාක දෙන අයුරු. අහෝ අපගේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය කරන්නේ නැද්ද? මන්ද අපට එරෙහිව පැමිණෙන මේ සුවිශාල හමුදාවට මූණ දෙන්නට අපට ශක්තියක් නැත. කුමක් කරන්නදැයි අපි නො දනිමු. එහෙත් අපගේ ඇස් ඔබ වෙත යැ” යි පැවසූහ.
මුළු යූදා ජනතාව තම භාර්යාවන් ද දරුවන් ද අත දරුවන් ද සමඟ ස්වාමින්වහන්සේ අබියස සිටගෙන සිටියහ.
එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එක් රැස් ව සිටි පිරිස අතර සිටගෙන සිටි ආසාෆ්ගෙන් පැවත එන්නෙක් ද ලෙවීයයෙක් ද වූ මත්තනියාගේ පුත්, යෙයීයෙල්ගේ පුත්, බෙනායාගේ පුත්, සෙකරියාගේ පුත් යහසීයෙල් පිට පැමිණි සේක.
ඔහු කතා කොට, “සවන් දෙන්න යූදාහි සියල්ලෙනි, යෙරුසලම් වැසියෙනි, යෙහෝෂාෆාට් රජතුමනි, ස්වාමින්වහන්සේ ඔබට මෙසේ පවසන සේක, ‘මේ සුවිශාල හමුදාව නිසා භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද යුද්ධය ඔබගේ නො වෙයි. දෙවියන්වහන්සේගෙයි. හෙට ඔවුන්ට එරෙහිව බැස යන්න. ඔවුන් සීස් මංකඩින් නැග එනු ඇත. යෙරූවෙල් කාන්තාරයේ ඇති දොරුව කෙළවරදී ඔවුන් ඔබට මුණ ගැසෙනු ඇත. මෙම යුද්ධයේදී ඔබ සටන් කළ යුතු නැත. ස්ථාවර ව සිටින්න. ඔබේ ස්ථානයේ රඳා සිටින්න; ඔබ උදෙසා ස්වාමින්වහන්සේගේ ගැලවීම බලා සිටින්න. එම්බා යූදා හා යෙරුසලම, භය වන්න එපා; කැලඹෙන්න එපා. හෙට ඔවුන්ට එරෙහිව යන්න. ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ’ යි” පැවසී ය.
එවිට යෙහෝෂාෆාට් ඔහුගේ හිස නවා, ඔහුගේ මුහුණ බිමට නමා ගත්තේ ය. සියලු යූදා හා යෙරුසලම් වාසීහු ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, ස්වාමින්වහන්සේ අබියස වැඳ වැටුණහ. කොහාත්ගෙන් ද කෝරාගෙන් ද පැවත එන්නවුන් වූ ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහ හඬින් ප්‍රශංසා කරන්නට නැගිට, සිටගත්හ.
අලුයම් උදය නැගුටුණු ඔවුහු තෙකෝවා කාන්තාරයට පිටත් ව ගියහ. ඔවුන් පිටත් ව යන කල යෙහෝෂාෆාට් නැගිට කතා කරමින්, “සවන් දෙන්න මට, යූදාවරුනි, යෙරුසලම් වැසියෙනි, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. එවිට ඔබ ස්ථාවර වනු ඇත. උන්වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. ඔබ සාර්ථක වනු ඇතැ” යි පැවසී ය. ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෙහෝෂාෆාට්, හමුදාවට පෙරටුව යමින්,
“ස්වාමින්වහන්සේට ස්තුති පුදන්න.
මන්ද උන්වහන්සේගේ නොමියෙන පෙම සදහට පවත්නේ යැ” යි
පවසමින්,
ස්වාමින්වහන්සේට ගායනා කරන්නන් හා උන්වහන්සේගේ ශුද්ධකමේ අලංකාරය ගැන ප්‍රශංසා කරන්නන් පත් කළේ ය.
ඔවුන් ගායනා කරන්නටත්, ප්‍රශංසා කරන්නටත් පටන් ගත් කල, යූදාට එරෙහිව පැමිණි අම්මොන්, මෝවබ් හා සේයිර් කඳුකර වාසීන්ට දැඩි පරාජයක් වන පිණිස ස්වාමින්වහන්සේ ඔවුන්ට එරෙහිව රහසේ රැක සිටින්නන් තැබූ සේක. අම්මොන් හා මෝවබ් මිනිස්සු සේයිර් කඳුකර වාසීන් විනාශ කර දමන්නට ඔවුන්ට එරෙහිව නැගිටුණහ. සේයිර් වාසීන් ඝාතන කර නිම වූ පසු, ඔවුහු සියල්ලෝ එකිනෙකා විනාශ කරන්නට උපකාර වූහ.
යූදා ජනයා කාන්තාරයේ මුර කොටුවට අවුත්, ඒ සුවිශාල සේනාව දෙස බැලූ කල මෙන්න! ඔවුන් දුටුවේ බිම වැතිරී තිබූ මළ කඳන් පමණි. කිසිවකුත් බේරී සිටියේ නැත. එබැවින් යෙහෝෂාෆාට් හා ඔහුගේ මිනිස්සු ඔවුන්ගෙන් කොල්ලය ගැනීමට ආහ. විශාල ප්‍රමාණයෙන් වස්තුව ද ඇඳුම් ද වටිනා භාණ්ඩ ද ඒ අතර ඔවුන්ට හමු විය. ඔවුහු තමන්ට තවදුරටත් ගෙන යන්නට නො හැකි තරමට ඒ දේවල් එකතු කර ගත්හ. එම කොල්ලය ඒ සා විශාල ව තිබූ බැවින් එය එකතු කර ගන්නට ඔවුන්ට දවස් තුනක් ගත විය. හතර වන දවසේ ඔවුහු ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීමට බෙරාකා මිටියාවතේ එක් රැස් වූහ. එහිදී ඔවුන් උන්වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා ම එම මිටියාවත බෙරාකා නමින් හැඳින් වේ.