මින් අනතුරුව මෝවබ්වරු, අම්මොන්වරු හා ඔවුන් සමඟ මෙයූනිවරු ඇතැම් දෙනෙක් යෙහෝෂාෆාට්ට එරෙහිව සටනට ආහ.
මිනිසුන් ඇතැම් දෙනෙක් අවුත්, යෙහෝෂාෆාට්ට කතා කොට, “ඒදොම් සිට, මුහුදින් එතෙර සිට ඔබට එරෙහිව මහ හමුදාවක් එනවා. අන්න! ඔවුන් හසසොන්-තාමාර්වල (එනම් ඒන්-ගෙදී) යැ” යි පැවසූහ. යෙහෝෂාෆාට් භයපත් ව ස්වාමින්වහන්සේ සොයන්නට අදිටන් කර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කළේ ය. ස්වාමින්වහන්සේගෙන් පිළිසරණ සොයන්නට යූදා ජනයා එක් රැස් වූහ; ඔවුහු ස්වාමින්වහන්සේ සොයන්නට හැම යූදා නගරයකින් ම පැමිණියහ.
ඉන්පසු යෙහෝෂාෆාට්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ නව මළුව ඉදිරිපිට සිටි යූදා හා යෙරුසලම් එක් රැස්වීම අබියස සිටගෙන, මෙසේ පැවසී ය:
“අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ස්වර්ගයේ සිටින දෙවියන්වහන්සේ ඔබ නො වේ ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් පාලනය කරන්නේ ඔබයි. බලයත්, පරාක්‍රමයත් ඔබ හස්තයේ හෙයින් කවරකුටවත් ඔබට එරෙහිව සිටිය නො හැකි ය. ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ඉදිරිපිටින් මේ දේශ වාසීන් පන්නා, ඔබේ මිත්‍ර ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ට සදහට ම එය දුන් අපගේ දෙවියන්වහන්සේ, ඔබවහන්සේ නො වේ ද? ඔවුහු එහි වාසය කළෝ, ඔබගේ නාමය උදෙසා එහි ශුද්ධස්ථානයක් ඉදිකළෝ, ‘අප පිට යම් ව්‍යසනයක් වන අසිපත, විනිශ්චය, හෝ වසංගතය හෝ සාගතය පැමිණියොත්, අපගේ විපතේදී ඔබේ නාමය දරන මේ ගෘහය ඉදිරිපිට ඔබ අබියස අපි ඔබට මොරගසන්නෙමු. ඔබ අපට සවන් දී, අප ගලවන සේකැ’ යි පැවසූහ.
“එහෙත් බැලුව මැනව! ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට ආ කල, දැන් මෙහි සිටින අම්මොන්, මෝවබ් හා සේයිර් කඳුකර මිනිසුන්ගේ පළාත ආක්‍රමණ කරන්නට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් සේක. එබැවින් ඔවුහු ඔවුන් විනාශ නො කොට, ඔවුන්ගෙන් ඉවත් ව ගියහ. බැලුව මැනව! උරුමයක් වශයෙන් ඔබ අපට දුන් දේශයෙන් අප පන්නා දමන්නට ඔවුන් පැමිණීමෙන් ඔවුන් අපට පල විපාක දෙන අයුරු. අහෝ අපගේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය කරන්නේ නැද්ද? මන්ද අපට එරෙහිව පැමිණෙන මේ සුවිශාල හමුදාවට මූණ දෙන්නට අපට ශක්තියක් නැත. කුමක් කරන්නදැයි අපි නො දනිමු. එහෙත් අපගේ ඇස් ඔබ වෙත යැ” යි පැවසූහ.
මුළු යූදා ජනතාව තම භාර්යාවන් ද දරුවන් ද අත දරුවන් ද සමඟ ස්වාමින්වහන්සේ අබියස සිටගෙන සිටියහ.
එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එක් රැස් ව සිටි පිරිස අතර සිටගෙන සිටි ආසාෆ්ගෙන් පැවත එන්නෙක් ද ලෙවීයයෙක් ද වූ මත්තනියාගේ පුත්, යෙයීයෙල්ගේ පුත්, බෙනායාගේ පුත්, සෙකරියාගේ පුත් යහසීයෙල් පිට පැමිණි සේක.
ඔහු කතා කොට, “සවන් දෙන්න යූදාහි සියල්ලෙනි, යෙරුසලම් වැසියෙනි, යෙහෝෂාෆාට් රජතුමනි, ස්වාමින්වහන්සේ ඔබට මෙසේ පවසන සේක, ‘මේ සුවිශාල හමුදාව නිසා භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද යුද්ධය ඔබගේ නො වෙයි. දෙවියන්වහන්සේගෙයි. හෙට ඔවුන්ට එරෙහිව බැස යන්න. ඔවුන් සීස් මංකඩින් නැග එනු ඇත. යෙරූවෙල් කාන්තාරයේ ඇති දොරුව කෙළවරදී ඔවුන් ඔබට මුණ ගැසෙනු ඇත. මෙම යුද්ධයේදී ඔබ සටන් කළ යුතු නැත. ස්ථාවර ව සිටින්න. ඔබේ ස්ථානයේ රඳා සිටින්න; ඔබ උදෙසා ස්වාමින්වහන්සේගේ ගැලවීම බලා සිටින්න. එම්බා යූදා හා යෙරුසලම, භය වන්න එපා; කැලඹෙන්න එපා. හෙට ඔවුන්ට එරෙහිව යන්න. ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ’ යි” පැවසී ය.
එවිට යෙහෝෂාෆාට් ඔහුගේ හිස නවා, ඔහුගේ මුහුණ බිමට නමා ගත්තේ ය. සියලු යූදා හා යෙරුසලම් වාසීහු ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, ස්වාමින්වහන්සේ අබියස වැඳ වැටුණහ. කොහාත්ගෙන් ද කෝරාගෙන් ද පැවත එන්නවුන් වූ ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහ හඬින් ප්‍රශංසා කරන්නට නැගිට, සිටගත්හ.