2 ලේකම් 16:1-9

2 ලේකම් 16:1-9 SCV

ආසාගේ රාජ්‍ය පාලනයේ තිස්හය වන අවුරුද්දේ ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා, යූදාට එරෙහිව ගියේ ය. යූදාහි රජු වූ ආසාගේ පළාතට කිසිවකු ඇතුල්වීම හෝ කිසිවකු ඉන් පිටවීම හෝ වළකනු පිණිස ඔහු රාමා නගරය ඉදි කළේ ය. එවිට ආසා ස්වාමින්වහන්සේගේ ගෘහයේ සහ තමාගේ රජ මැදුරේ භාණ්ඩාගාරවල තිබූ රිදී හා රන් ගෙන, දමස්කයේ විසූ අරාම්හි රජු වූ බෙන්-හදද් වෙත ඒවා යැවුවේ, මෙසේ කියමිනි, “මගේ පියා හා ඔබේ පියා අතර තිබූ පරිද්දෙන්, ඔබ සහ මා අතර ගිවිසුමක් තිබේවා! මෙන්න මම ඔබට රිදී-රත්රන් එවන්නෙමි; දැන් ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා සමඟ ඇති ඔබේ ගිවිසුම කඩ කරන්න; එවිට ඔහු මා වෙතින් ඉවත් ව යනු ඇත.” බෙන්-හදද්, ආසා රජුට සවන් දී, තම හමුදා සෙන්පතීන් ඉශ්‍රායෙල් පුරවරවලට විරුද්ධ ව යැවී ය. ඔවුහු ඊයොන් ද දාන් ද ආබෙල්-මායිම් ද නෆ්තලීහි සියලු ගබඩා පුරවර ද යටත් කර ගත්හ. බාෂා ඒ ඇසූ කල, රාමා ඉදි කිරීම නවතා, එම කාර්යය නතර කළේ ය. ඉන්පසු ආසා රජු මුළු යූදා යොදා ගනිමින්, බාෂා විසින් රාමාහි භාවිත කළ ගල් සහ දැව ජනයා ලවා ඉන් බැහැර කර, ඒවායින් ගෙබා හා මිස්පා ගොඩ නැගී ය. එකල අනාගතවක්තෘ හනානී, යූදා රජු වූ ආසා වෙත අවුත්, ඔහුට කතා කොට, “ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ගැන නො ව, අරාම් රජ ගැන විශ්වාසය තැබූ බැවින් අරාම්හි රජුගේ හමුදාව ඔබ වෙතින් පලා යනු ඇත. කූෂ්වරුන් හා ලිබියානුවන් යුද්ධ රථ හා අසරුවන් විශාල ගණනක් ඇති බලවත් හමුදාවක් නො වී ද? එහෙත් ඔබ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ විට උන්වහන්සේ ඔබ අතට ඔවුන් හසුකර දුන් සේක. මන්ද තමන්ගේ හදවත ස්වාමින්වහන්සේට මුළුමනින් කැප කර ඇති තැනැත්තේ සවිමත් කරන පිණිස උන්වහන්සේගේ ඇස් මිහි පිට මුළුල්ලේ ඔබ මොබ ගමන් කරයි. ඔබ අනුවණකමක් කර ඇත. මෙතැන් පටන් ඔබට යුද්ධ හට ගන්නේ යැ” යි පැවසී ය.

2 ලේකම් 16:1-9 සඳහා වීඩියෝව