2 ලේකම් 14:1-12

2 ලේකම් 14:1-12 SCV

අබියා තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔවුහු දාවිත් පුරයේ ඔහු භූමදාන කළෝ ය. ඔහුගේ පුත් ආසා ඔහු වෙනුවට රජකමට පත් විය. ඔහුගේ දවස්වලදී දේශය තුළ දස අවුරුද්දක් සාමය පැවතිණ. ආසා තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි යහපත් වූ නිවැරදි වූ දේ කළේ ය. ඔහු අන්‍ය පූජාසන සහ උස් තැන් පුදසුන් ඉවත් කර, රූප ස්තම්භ කඩා දමා, අෂේරා කණු කපා දැමී ය. ඔහු යූදා ජනයාට තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයන්නටත්, ව්‍යවස්ථාව හා ආඥාව පිළිපදින්නටත් අණ කළේ ය. ඔහු යූදාහි හැම නගරයක ම තබා තිබූ උස් තැන් පුදසුන් හා සුවඳ දුම් පූජාසන ඉවත් කළේ ය. ඔහු යටතේ එම රාජ්‍යය තුළ සාමය පැවතිණ. දේශය තුළ සාමය පැවතුණු බැවින් ඔහු යූදාහි බළකොටු පුරවර ගොඩ නැගී ය. මන්ද ස්වාමින්වහන්සේ ඔහුට සාමය දුන් බැවින් ඒ අවුරුදුවල යුද්ධ පැවතුණේ නැත. ඔහු යූදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩ නඟමු. ඒ වටා පවුරු, මුර කොටු, දොරටු හා අගුල් සාදමු. මන්ද අපි අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සෙවූ බැවින් දේශය තවමත් අප සතු ය; අපි උන්වහන්සේ සෙවීමු. හැම අතින් ම උන්වහන්සේ අපට සාමය දුන් සේකැ” යි පැවසී ය. මෙසේ ඔවුහු ගොඩ නගා, සඵල වූහ. මහා පලිහ හා හෙල්ලවලින් සන්නද්ධ වූ තුන් ලක්ෂයක් යූදා ජනයාගෙන් ද කුඩා පලිහ හා දුනුවලින් සන්නද්ධ වූ දෙලක්ෂ අසූදහසක් බෙන්යමින් ජනයාගෙන් ද සමන්විත සේනාවක් ආසාට සිටියේ ය. ඒ සියල්ලෝ ම අභීත රණවිරුවන් වූහ. මේ අතර ඔවුන්ට එරෙහිව මිනිසුන් ලක්ෂ දහයක විශාල සේනාවක් හා යුධ රථ තුන්සියයක් ද කැටුව කූෂීය සෙරා, මාරේෂා දක්වා ම පැමිණියේ ය. ආසා ඔහු මුණගැසෙන්නට ගියේ ය. ඔවුහු මාරේෂා අසල වූ සෙෆතා මිටියාවතේදී යුද්ධයට හමුදා පෙළ ගැස්වූහ. එවිට ආසා තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මොර ගසමින්, “අහෝ ස්වාමින්වහන්ස, බලවතා හා දුබලයා අතරේ උපකාර කරන්නට ඔබ හා සමාන අන් කෙනකු තවත් නැත. අපට පිහිට වුව මැනව. අහෝ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, මන්ද අපි ඔබවහන්සේ තුළ විශ්වාසය තැබීමු. අති විශාල මෙම හමුදාවට එරෙහිව අප පැමිණියේ ඔබවහන්සේගේ නාමයෙනි. අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අපගේ දෙවියන්වහන්සේ ය; ඔබවහන්සේට එරෙහිව මනුෂ්‍යයාට දිනන්නට ඉඩ නුදුන මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ ආසා හා යූදා ඉදිරියෙන් කූෂ්වරුන් පැරද වූ සේක; කූෂ්වරු පලා ගියහ.