1 තිමෝති 5:16-25

1 තිමෝති 5:16-25 SCV

යම් ඇදහිලිවන්තියකගේ පවුලේ වැන්දඹුවන් සිටී නම්, සභාවට ඔවුන් බරක් වීමට ඉඩ නො තබා, ඇය ඔවුන්ට උපකාර කරත්වා. එවිට සැබෑවට වැන්දඹු වූවනට සැලකීමට සභාවට හැකි වේ. දේශනා කිරීමේ හා ඉගැන්වීමේ යෙදෙමින්, සභා කටයුතු හොඳින් මෙහෙය වන සභා-මූලිකයන් දෙගුණයක් ගරු සැලකිලි ලබන්නට සුදුසු ය. මන්ද, “ගොයම් මඩින කල ගවයාගේ කට නො බැඳිය යුතු ය” කියා ද “සේවකයා ඔහුගේ ගාස්තුව ලැබිය යුත්තෙකි” කියා ද ශුද්ධ ලියවිල්ල පවසයි. සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂි සාධක ඇතොත් මිස, සභා-මූලිකයකුට එරෙහි චෝදනා නො පිළිගන්න. එහෙත් සෙසු අය ද බය ඇති ව සිටින පිණිස, දිගට ම පව් කරන්නවුනට සෙසු අය ඉදිරියේ ප්‍රසිද්ධියේ තරවටු කරන්න. දෙවියන්වහන්සේ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ද තෝරාගත් දේව දූතයින් ද ඉදිරියේ මා ඔබට අණ කරන්නේ, පූර්ව නිගමනවලින් හා පක්ෂවාදිකම්වලින් තොර ව මෙම උපදෙස් පිළිපදින ලෙස ය; අත් තබා ආලේප කිරීමට ඉක්මන් නො වන්න. අනුන්ගේ පව්වලට හවුල් නො වන්න. ඔබ ම පවිත්‍ර ව සිටින්න. වතුර පමණක් බීමෙන් වැළකී, ඔබගේ උදර ආබාධ හා නිතර වන අසනීප නිසා මිදි යුෂ ස්වල්පයක් භාවිත කරන්න. ඇතමුන්ගේ පාප, විනිශ්චයට පළමුවෙන් ම පැහැදිලි ය. එහෙත් ඇතමුන්ගේ පාප පසුව එළිදරවු වෙයි. සත් ක්‍රියා ද එසේ ම පැහැදිලි ව පෙනේ. පැහැදිලි ව නො පෙනුන ද ඒවා සැඟවී තිබෙන්නට බැරි ය.

මෙයට අදාළ වීඩියෝ