1 තිමෝති 3:1-10

1 තිමෝති 3:1-10 SCV

යමකු, සභාවේ නායක තනතුර දැරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු ශ්‍රේෂ්ඨ කාරියකට ආශා වන්නේ ය යන්න විශ්වසනීය කියමනකි. එබැවින් නායකයා දොසක් දැකිය නො හැකි, එක භාර්යාවකට ස්වාමිපුරුෂයා වූ, පමණ දැන කටයුතු කරන, සංයමයෙන් යුතු, ගරු කටයුතු වූ, ආගන්තුක සත්කාරයට ලැදි, ඉගැන්වීමෙහි සමත් අයකු විය යුතු ය. ඔහු, බේබද්දකු නො වූ, බලහත්කාරයෙන් තොර, මෘදුගුණැති, කලහකරුවකු නො වූ, මුදලට කෑදර නැති කෙනකු විය යුතු ය. ඔහු තමාගේ පවුල මැනවින් හසුරුවා ගන්නා වූ, ගරුත්වය ආරක්ෂා කර ගනිමින්, තම දරුවන් තමාට අවනත කර ගන්නා කෙනකු විය යුතු ය. තමාගේ පවුල හසුරුවා ගන්නට නො දන්නා කෙනකු දෙවියන්වහන්සේගේ සභාව රැක බලා ගන්නේ කෙසේ ද? ඔහු අලුත් ඇදහිලිවන්තයකු නො විය යුතු ය. නැතහොත් ඇතැම් විට ඔහු මානයෙන් උදම් වී, යක්ෂයා ලද දඬුවමට ම පත් විය හැකි බැවිනි. තවද ඔහු අපකීර්තියට හා යක්ෂයාගේ උගුලට හසු නො වන පිණිස, පිටස්තර අයගෙන් හොඳ නමක් දිනා ගත්තකු විය යුතු ය. එසේ ම, උපස්ථායකයින් ද ගරුත්වයෙන් යුත්, දිව දෙකේ කතා නැති, බොහෝ මිදි යුෂවලට ඇලුම් නො වූ, අයුතු ලාභයට ගිජු නො වූවන් විය යුතු ය. ඔවුන් ඇදහිල්ලේ අබිරහස පිරිසිදු හෘදය සාක්ෂියකින් දරා සිටිය යුතු ය. පළමු කොට ඔවුන් සෝදිසි කිරීමකට පාත්‍ර විය යුතු ය. ඉන්පසු ඔවුහු දෝෂ රහිත නම්, උපස්ථායකයින් ලෙස සේවය කරත්වා.

මෙයට අදාළ වීඩියෝ