1 සාමුවෙල් 9:17-27

1 සාමුවෙල් 9:17-27 SCV

සාමුවෙල්, සාවුල් දුටු කල, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “මෙන්න! මොහුයි මා ඔබට පැවසූ මිනිසා. ඔහු මගේ ජනතාව පාලනය කරනු ඇතැ” යි කී සේක. දොරටුවේදී සාමුවෙල් වෙත ළං වූ සාවුල්, “පේන කියන්නාගේ ගේ කොහේ ද කියා කරුණාකර මට කිව හැකි දැ?” යි ඇසී ය. සාමුවෙල් සාවුල්ට පිළිතුරු දෙමින්, “පේන කියන්නා මමයි. මට පෙරටුව උස් තැන් පුදසුන වෙත යන්න. මන්ද අද ඔබ මා සමඟ ආහාර ගන්න ඕනේ. හෙට උදයේ ඔබ යන්නට හරින්නම්. ඔබේ හද තුළ ඇති සියල්ල ද මම ඔබට කියන්නම්. තුන් දවසකට උඩදී නැති වූ බූරු දෙනුන් ගැන තවත් සිතන්න ඕනෑ නෑ. උන් සම්භවෙලා. ඉශ්‍රායෙල්හි ප්‍රිය උපදනා සියල්ල කවුරුන්ට ද? ඒවා ඔබටත් ඔබ පියාගේ පවුලේ සැමටත් නො වේ දැ?” යි කීවේ ය. සාවුල් පිළිතුරු දෙමින්, “කුඩා ම ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශය වූ බෙන්යමින්වරයෙක් නො වේ ද මා! බෙන්යමින් ගෝත්‍රයේ සියලු පෙළපත් අතරින් ඉතාම සුළු එක, මා අයත් පෙළපත නො වේ ද? එහෙම නම් ඇයි ඔබ මෙවැනි දෙයක් මට පවසන්නේ?” යි ඇසී ය. සාමුවෙල් ඉන්පසු සාවුල් හා ඔහුගේ සේවකයා ශාලාවට කැඳවාගෙන අවුත්, තිස්දෙනකු පමණ වූ ආරාධිතයින් අතරේ මුල් අසුනේ ඔවුන් හිඳවූයේ ය. ඉන්පසු කෝකියාට කතා කළ සාමුවෙල්, “වෙන් කර තබන්න කියා මා ඔබට දුන් පංගුව ගෙනෙන්නැ” යි කීවේ ය. එවිට කෝකියා මස් ගාතය හා ඒ මත වූ දෑ ද ගෙනවුත්, සාවුල් ඉදිරියේ තැබී ය. එවිට සාමුවෙල් කතා කරමින්, “මෙන්න ඔබට වෙන් කර තැබූ දෑ; කන්න. මන්ද ‘අමුත්තන්ට මම ඇරියුම් කළෙමි’ යි මා කී වේලේ පටන් මේ අවස්ථාව සඳහා ම එය ඔබට වෙන් කර තිබිණැ” යි කීවේ ය. සාවුල් ඒ දවසේ සාමුවෙල් සමඟ අහර ගත්තේ ය. ඔවුන් උස් තැන පුදසුන වෙතින් නගරය වෙත පහළට ආ පසු, සාමුවෙල් තම නිවසේ පියස්ස මතදී සාවුල් හා කතා කළේ ය. දවසේ උදාවත් සමඟ ගෙපියස්ස මතදී සාවුල්ට කතා කළ සාමුවෙල්, “සූදානම් වන්න. මම ඔබ පිටත් කර හරින්නෙමි” යි පැවසී ය. සාවුල් සූදානම් වූ කල, ඔහු ද සාමුවෙල් ද එක් ව පිටතට ගියහ. ඔවුන් නගර සීමාව වෙත යමින් සිටියදී, සාමුවෙල්, සාවුල්ට කතා කොට, “අපට පෙරටුව යන ලෙස සේවකයාට කියන්න. දෙවියන්වහන්සේගේ වචනය මා ඔබට දන්වන පිණිස ඔබ මදකට මෙතැන නවතින්නැ” යි කී ය.