1 සාමුවෙල් 9:15-21

1 සාමුවෙල් 9:15-21 SCV

සාවුල් පැමිණෙන්නට පෙර දවසේ, ස්වාමින්වහන්සේ සාමුවෙල්ට මෙසේ එළිදරවු කර තිබිණි: “හෙට මේ වෙලාවට පමණ මම බෙන්යමින් දේශයෙන් මිනිසකු ඔබ වෙත එවන්නෙමි. මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන්ගේ අධිපතියා කොට, ඔබ ඔහු ආලේප කළ යුතුයි. ඔහු මගේ ජනයා පිලිස්තිවරුන් අතින් මුදා ගනු ඇත. මම මගේ ජනතාවගේ දුක බැලීමි. මන්ද ඔවුන්ගේ මොරගෑම මා වෙත පැමිණ ඇත.” සාමුවෙල්, සාවුල් දුටු කල, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “මෙන්න! මොහුයි මා ඔබට පැවසූ මිනිසා. ඔහු මගේ ජනතාව පාලනය කරනු ඇතැ” යි කී සේක. දොරටුවේදී සාමුවෙල් වෙත ළං වූ සාවුල්, “පේන කියන්නාගේ ගේ කොහේ ද කියා කරුණාකර මට කිව හැකි දැ?” යි ඇසී ය. සාමුවෙල් සාවුල්ට පිළිතුරු දෙමින්, “පේන කියන්නා මමයි. මට පෙරටුව උස් තැන් පුදසුන වෙත යන්න. මන්ද අද ඔබ මා සමඟ ආහාර ගන්න ඕනේ. හෙට උදයේ ඔබ යන්නට හරින්නම්. ඔබේ හද තුළ ඇති සියල්ල ද මම ඔබට කියන්නම්. තුන් දවසකට උඩදී නැති වූ බූරු දෙනුන් ගැන තවත් සිතන්න ඕනෑ නෑ. උන් සම්භවෙලා. ඉශ්‍රායෙල්හි ප්‍රිය උපදනා සියල්ල කවුරුන්ට ද? ඒවා ඔබටත් ඔබ පියාගේ පවුලේ සැමටත් නො වේ දැ?” යි කීවේ ය. සාවුල් පිළිතුරු දෙමින්, “කුඩා ම ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශය වූ බෙන්යමින්වරයෙක් නො වේ ද මා! බෙන්යමින් ගෝත්‍රයේ සියලු පෙළපත් අතරින් ඉතාම සුළු එක, මා අයත් පෙළපත නො වේ ද? එහෙම නම් ඇයි ඔබ මෙවැනි දෙයක් මට පවසන්නේ?” යි ඇසී ය.