1 සාමුවෙල් 9:1-20

1 සාමුවෙල් 9:1-20 SCV

කීෂ් නම් වූ බෙන්යමින් මිනිසෙක් සිටියේ ය. බෙන්යමීය මිනිසකුගේ පුත්‍ර වූ අෆියාගේ පුත්‍ර, බෙකෝරත්ගේ පුත්‍ර, සෙරෝර්ගේ පුත්‍ර, අබියෙල්ගේ පුත්‍රයා වූ ඔහු ධනවත් මිනිසෙකි. ඔහුට සාවුල් නම් වූ කඩවසම් තරුණ පුතකු සිටියේ ය. ඔහුට වඩා කඩවසම් කෙනකු ඉශ්‍රායෙල් පුත්‍රයින් අතර නො වී ය. උරහිසේ පටන් ඔහු අන් කවරකුටත් වඩා උසින් යුතු විය. මෙකල සාවුල්ගේ පියා වූ කීෂ්ගේ බූරු දෙනුන් නැති විණි. එබැවින් තම පුත් සාවුල් ඇමතූ කීෂ්, “ඔබගේ තරුණ සේවකයින්ගෙන් කෙනකු ඔබ සමඟ ගෙන, ගොසින් බූරුවන් සොයා බලන්නැ” යි කීවේ ය. ඔහු එප්‍රායිම් කඳුරට හරහා ද ෂාලිෂා අවට පෙදෙස හරහා ද සැරි සැරූ නමුදු, ඔවුන්ට උන් සම්භ වුණේ නැත. ඔවුහු ෂාලීම් පළාත ද පසු කර ගියහ. එහෙත් උන් එහි ද සිටියේ නැත. ඉන්පසු ඔවුහු බෙන්යමින් දේශය හරහා සැරි සැරූහ. එහෙත් ඔවුනට උන් සොයාගත නො හැකි විය. ඔවුන් සූෆ් පළාතට ළඟා වූ කල, තමා හා සිටි සේවකයා ඇමතූ සාවුල්, “එන්න, අපි ආපහු යමු; නැතහොත් මගේ පියා, බූරු දෙනුන් ගැන කල්පනාව අත්හැර අප ගැන කනස්සලු වනු ඇතැ” යි කීවේ ය. එහෙත් ඔහු පිළිතුරු දෙමින්, “දන්නවා ද! දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටී. ඔහු ඉතා ගරු කටයුතු කෙනෙක්. ඔහු කියන හැම දෙයක් ම සැබෑ වෙයි. අපි දැන් එහි යමු. අප යා යුත්තේ කවර මාර්ගයේ දැයි ඇතැම් විට ඔහු අපට කියා දේවි” යි කීවේ ය. එවිට සාවුල් තම සේවකයා අමතමින්, “එහෙත්, අප යනවා නම්, මොනවා ද අප ඒ මනුෂ්‍යයාට ගෙන යන්නේ? අපේ මලුවල ආහාරත් ඉවරයි. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යෑමට තෑග්ගක් කෝ! මොනවද අප ළඟ තියෙන්නේ?” යි පැවසී ය. සේවකයා නැවත සාවුල්ට පිළිතුරු දෙමින්, “මෙන්න, මා ළඟ රිදී ෂෙකෙල් කාලක් තියෙනවා. අප යා යුතු මග අපට කීම සඳහා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට මම එය දෙන්නම්” කීවේ ය. (ඉහතදී ඉශ්‍රායෙල්හි යමෙක්, දෙවියන්වහන්සේගෙන් විමසන්නට ගිය කල, “එමු; අපි පේන කියන්නා වෙත යමු” යි කියයි. මන්ද මෙකල දිවැසිවරයා, එකල හැඳින්වූයේ පේන කියන්නා නමිනි.) එවිට සාවුල්, “අගෙයි. එන්න. අපි යමු” යි තම සේවකයාට පැවසී ය. මෙසේ ඔවුහු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සිටි පුරවරය බලා පිටත් වූහ. ඔවුන් කන්ද නැග, නගරයට යන අතරේ, දිය අදින්නට පිටත් ව එන තරුණියන් කීප දෙනකු ඔවුනට හමු විණ. “පේන කියන්නා මෙහි සිටිනවා දැ?” යි ඔවුහු ඔවුන්ගෙන් ඇසූහ. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔව්, ඔහු සිටී. අන්න; ඔහු ඔබට මදක් ඉදිරියෙන්! ඉක්මන් කරන්න; මන්ද ජනයා අද උස් තැන් පුදසුනේ යාග පූජාවක් කරන නිසා, ඔහු මේ දැන් නගරයට ඇවිල්ලා. ඔබ නගරයට ඇතුළු වූ විගස, ඔහු පූජාව වළඳන්නට උස් තැන් පුදසුනට නැගෙන්නට කලින් ඔහු ඔබට මුණ ගැසෙනු ඇත. ඔහු එන තුරු ජනයා කන්නේ නැත. මන්ද පූජාවට ඔහු ආශිර්වාද කළ යුතු නිසයි. ආරාධිතයින් අහර ගන්නේ ඉන් පසුවයි. දැන් ම නැග යන්න. නොපමාව ඔහු ඔබට හමු වනු ඇතැ” යි කීහ. ඔවුහු කන්ද නැග, පුරවරයට ගියහ. ඔවුන් එහි ඇතුළු වෙද්දී, සාමුවෙල් උස් තැන් පුදසුන වෙත පියමං කරමින්, ඔවුන් දෙසට එමින් සිටියේ ය. සාවුල් පැමිණෙන්නට පෙර දවසේ, ස්වාමින්වහන්සේ සාමුවෙල්ට මෙසේ එළිදරවු කර තිබිණි: “හෙට මේ වෙලාවට පමණ මම බෙන්යමින් දේශයෙන් මිනිසකු ඔබ වෙත එවන්නෙමි. මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන්ගේ අධිපතියා කොට, ඔබ ඔහු ආලේප කළ යුතුයි. ඔහු මගේ ජනයා පිලිස්තිවරුන් අතින් මුදා ගනු ඇත. මම මගේ ජනතාවගේ දුක බැලීමි. මන්ද ඔවුන්ගේ මොරගෑම මා වෙත පැමිණ ඇත.” සාමුවෙල්, සාවුල් දුටු කල, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “මෙන්න! මොහුයි මා ඔබට පැවසූ මිනිසා. ඔහු මගේ ජනතාව පාලනය කරනු ඇතැ” යි කී සේක. දොරටුවේදී සාමුවෙල් වෙත ළං වූ සාවුල්, “පේන කියන්නාගේ ගේ කොහේ ද කියා කරුණාකර මට කිව හැකි දැ?” යි ඇසී ය. සාමුවෙල් සාවුල්ට පිළිතුරු දෙමින්, “පේන කියන්නා මමයි. මට පෙරටුව උස් තැන් පුදසුන වෙත යන්න. මන්ද අද ඔබ මා සමඟ ආහාර ගන්න ඕනේ. හෙට උදයේ ඔබ යන්නට හරින්නම්. ඔබේ හද තුළ ඇති සියල්ල ද මම ඔබට කියන්නම්. තුන් දවසකට උඩදී නැති වූ බූරු දෙනුන් ගැන තවත් සිතන්න ඕනෑ නෑ. උන් සම්භවෙලා. ඉශ්‍රායෙල්හි ප්‍රිය උපදනා සියල්ල කවුරුන්ට ද? ඒවා ඔබටත් ඔබ පියාගේ පවුලේ සැමටත් නො වේ දැ?” යි කීවේ ය.