1 සාමුවෙල් 8:10-22

1 සාමුවෙල් 8:10-22 SCV

එබැවින් සාමුවෙල් තමාගෙන් රජකු ඉල්ලූ ජනයාට ස්වාමින්වහන්සේ පැවසූ හැම වදනක් ම පැවසී ය. ඔහු කතා කරමින්, “නුඹලා කෙරේ රජකම් කරන රජු තම අයිතිවාසිකම ලෙස කරනුයේ මෙලෙසයි; ඔහු ඔබේ පුතුන් ගෙන, ඔහුගේ රථවල සේවයට හා ඔහුගේ අසරුවන් වශයෙන් හා ඔහුගේ රථවලට පෙරටුව දුවන්නට පත් කර ගනු ඇත. ඔහු ඇතමකු දහසකට සෙන්පති ලෙසින් ද ඇතමකු පනසකට සෙන්පති ලෙසින් ද පත් කරනු ඇත. ඔහු තමාගේ ඉඩම් අස්වද්දන්නට හා අස්වනු නෙළන්නට ඇතමුන් පත් කරනු ඇත. සෙස්සන් ඔහුගේ යුද-අවි හා රථ උපකරණ තනන්නට ද යොදවනු ඇත. ඔහු ඔබගේ දූවරුන් සුවඳ විලවුන් සාදන්නියන් ද අහර පිසින්නියන් ද පාන් පුලුස්සන්නියන් ද යන වශයෙන් ගනු ඇත. ඔහු ඔබගේ හොඳ ම කෙත් වතු ද මිදි වතු ද ඔලීව උයන් ද ගෙන, තම අධිකාරීන්ට දෙනු ඇත. ඔහු ඔබගේ ධාන්‍යවලින් හා මිදි යුෂවලින් දසයෙන් කොටසක් ගෙන, ඒවා තම නිලධාරීන්ට හා අධිකාරීන්ට දෙනු ඇත. ඔහු ඔබගේ සේවක සේවිකාවන් ද ඔබගේ හොඳ ම ගවයින් ද බූරුවන් ද ස්වකීය ප්‍රයෝජනය සඳහා ගනු ඇත. ඔහු ඔබගේ එළු බැටළු රංචුවලින් දසයෙන් එකක් ගනු ඇත. නුඹලා ඔහුගේ දාසයින් බවට පත් වනු ඇත. එදවස පැමිණි කල, ඔබ ම තෝරාගත් ඔබේ රජු නිසා, ඔබ මොර ගසනු ඇත. එහෙත් ස්වාමින්වහන්සේ ඒ දවසේදී ඔබට උත්තර දෙන්නේ නැතැ” යි පැවසී ය. කෙසේ වුව ද ජනයා සාමුවෙල්ට සවන් දීම ප්‍රතික්ෂේප කළහ. “නැත. අපටත් රජකු ඕනෑ මැ” යි කී ඔවුහු, “එවිට අප විනිශ්චය කරන්නට ද අපට පෙරටුව යන්නට හා අපේ යුද්ධවලදී සටන් වදින්නට ද රජකු ඇති ව අපත් අන් සියලු ජාතීන් මෙන් වනු ඇතැ” යි කීහ. ජනයා කී සියලු වචන ඇසූ සාමුවෙල්, ස්වාමින්වහන්සේගේ සවන් ඉදිරියේ ඒවා යළි පැවසී ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්, “ඔවුන්ට සවන් දී, ඔවුන්ට රජකු පත් කර දෙන්නැ” යි පැවසූ සේක. ඉන්පසු ඉශ්‍රායෙල් මිනිසුන් ඇමතූ සාමුවෙල්, “හැම කෙනකු ම තම තමන්ගේ නගරවලට යනු” යි පැවසී ය.