1 සාමුවෙල් 30:1-8

1 සාමුවෙල් 30:1-8 SCV

දාවිත් හා ඔහුගේ මිනිසුන් තුන් වන දවසේ සික්ලග් වෙත ළඟා වන විට, අමලෙක්වරුන් නෙගෙබ් හා සික්ලග් ආක්‍රමණ කර තිබිණ. ඔවුන් සික්ලග් වෙත පහර දී, එය ගිනි ලා, එහි වූ කාන්තාවන් ද බාල මහලු සෙසු සියල්ලන් ද අල්ලාගෙන ගොස් තිබිණ. ඔවුහු ඒ කිසිවකු නොමැරූ අතර, තමන් පිටත් ව යද්දී ඔවුන් ද ගෙන ගියහ. දාවිත් සහ ඔහුගේ මිනිස්සු සික්ලග් වෙත පැමිණි කල, එය ගින්නෙන් විනාශ කර ඇති වග ද තම භාර්යාවන්, පුතුන් හා දූවරුන් අල්ලාගෙන ගොස් ඇති වග ද දුටුවහ. එබැවින් දාවිත් හා ඔහුගේ මිනිස්සු වැලපෙන්නට තමන්ට ශක්තියක් නැති වන තුරු කෑ ගසා හැඬූහ. යෙස්රෙයෙලීය අහිනොවම් හා කර්මෙලීය නාබාල්ගේ වැන්දඹුව වූ අබිගායිල් ද යන දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා ම අල්ලාගෙන ගොස් තිබිණ. දාවිත් මහත් අසීරුතාවකට පත් විය. මන්ද ඔහුට ගල් ගැසීමට මිනිසුන් කතා වූ බැවිනි. හැම කෙනෙක් ම තම තමන්ගේ පුතුන් හා දූවරුන් නිසා, වේදනාවට පත් ව සිටියහ. එහෙත් දාවිත් තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ තමා ශක්තිමත් කර ගත්තේ ය. දාවිත් ඉන්පසු අහිමෙලෙක්ගේ පුත් අබියාතර් පූජකයාට කතා කර, “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් වෙත ගෙනාවේ ය. එවිට දාවිත්, ස්වාමින්වහන්සේගෙන් විමසමින්, “මා මෙම ආක්‍රමණික කණ්ඩායම ලුහුබඳින්න ද? මට ඔවුන් අල්ලා ගන්නට හැකි වේ දැ?” යි ඇසී ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න. ඔවුන් අල්ලා ගන්නටත්, මුදා ගන්නටත් නියතයෙන් ම ඔබට හැකි වෙතැ” යි පැවසූ සේක.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 30:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය