1 සාමුවෙල් 26:1-20
1 සාමුවෙල් 26:1-20 SCV
සීෆීවරු ගිබෙයාහි සාවුල් වෙත පැමිණ, “යෙෂීමොන් ඉදිරිපිට හකීලා හෙලේ දාවිත් සැඟවී සිටිනවා නො වේ දැ?” යි කීහ. එබැවින් සාවුල් නැගිට, තෝරාගත් ඉශ්රායෙල් මිනිසුන් තුන්දහසක් ද කැටිව, සීෆ් කාන්තාරයේ දාවිත් සොයන රිසින්, සීෆ් කාන්තාරය බලා ගියේ ය. සාවුල්, යෙෂීමොන්ට මුහුණ ලා හකීලා හෙලේ පාර අද්දර තම කඳවුර ගසා ගත්තේ ය. එහෙත් දාවිත් පාළුකරයේ ම නැවතී සිටියේ ය. සාවුල්, තමා පසු පස පාළුකරයට පැමිණ ඇති වග දුටු දාවිත්, ඔත්තුකරුවන් යවා, සාවුල් නියතයෙන් ම පැමිණ ඇති වග දැනගත්තේ ය. ඉන්පසු දාවිත් පිටත් වී, සාවුල් කඳවුරු බැඳි ස්ථානය බලා ගියේ ය. සාවුල් හා ඔහුගේ හමුදාපති, නේර්ගේ පුත්‍ර අබ්නේර් නිදා සිටි තැන දාවිත් දුටුවේ ය. සාවුල් කඳවුර තුළ නිදා සිටියේ ය. ඔහුගේ සේනාව ඔහු වටා කඳවුරු බැඳ සිටියහ. එවිට දාවිත්, හිත්තීය අහිමෙලෙක් ද සෙරූයාගේ පුත්‍ර, යෝවාබ්ගේ සහෝදර අබිෂයි ද අමතමින්, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට බැස යන්නේ කවුරු දැ?” යි ඇසී ය. “මම ඔබ සමඟ යමි” යි අබිෂයි පිළිතුරු දුන්නේ ය. මෙසේ දාවිත් හා අබිෂයි ඒ රැයේ සේනාව වෙත ගියහ. සාවුල් කඳවුර ඇතුළත වැතිරී, නිදා සිටියේ ය. ඔහුගේ හෙල්ලය ඔහුගේ හිස අසලින් බිම ඇන තිබිණ. අබ්නේර් ද සේනාව ද ඔහු වටා වැතිර සිටියහ. එවිට අබිෂයි, දාවිත් අමතමින්, “දෙවියන්වහන්සේ අද දවසේ ඔබේ සතුරා ඔබේ අතට හසුකර දී ඇත. ඔහු බිමට ඇමිණෙන සේ, එක් හෙල්ල පහරකින් ඔහුට අනින්නට මට ඉඩ දෙන්න. දෙවරක් මා ඔහුට අනින්නේ නැතැ” යි කීවේ ය. එහෙත් දාවිත් අබිෂයි වළකමින්, “ඔහු නසන්න එපා. ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන්ට අත තබා, දෝෂ රහිත ව සිටිය හැක්කේ කවරකුට ද?” දාවිත් කතා කරමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේ ම ඔහුට පහර දෙන සේක; ඔහුගේ කාලය පැමිණ, ඔහු මියෙනු ඇත. නැතහොත් ඔහු සටනට ගොස්, විනාශ වනු ඇත. එහෙත්, ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන්ට එරෙහිව අත එසවීමෙන් ස්වාමින්වහන්සේ මා වළකන සේක්වා. දැන් ඔහුගේ හිස අද්දර තිබෙන හෙල්ලයත්, වතුර බඳුනත් අරගන්න. අපි මෙතැනින් යමු” යි පැවසී ය. මෙසේ දාවිත්, සාවුල්ගේ හිස අද්දර වූ හෙල්ලයත්, වතුර බඳුනත් ගත්තේ ය. ඉන්පසු ඔවුහු නික්ම ගියහ. කිසිවකු ඒ වග දුටුවේවත්, දැන ගත්තේවත් නැත. කිසිවකු ඇහැරුණේ ද නැත. ස්වාමින්වහන්සේ තද නින්දකට ඔවුන් පත් කර තිබූ බැවින්, ඔවුහු නිද්‍රාගත ව සිටියහ. ඉන්පසු දාවිත් අනෙක් පැත්තට මාරු වී, හෙල මුදුනේ මදක් ඈතින් සිට ගත්තේ ය. ඔවුන් අතර ලොකු පරතරයක් තිබිණ. දාවිත් සේනාවට හා නේර්ගේ පුත් අබ්නේර්ට හඬ ගසමින්, “අබ්නේර්, ඔබ මට උත්තර දෙනවා දැ?” යි ඇසී ය. අබ්නේර් උත්තර දෙමින්, “රජ්ජුරුවන්ට හඬ ගසන ඔබ කවුරු දැ?” යි ඇසී ය. දාවිත් කතා කරමින්, “ඔබ පිරිමියෙක් නො වේ ද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන වෙන කවුරු ද? ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් ආරක්ෂා නො කළේ මන්ද? ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් විනාශ කිරීමට කෙනෙක් ආවේ ය. ඔබ කළ මේ දේ හොඳ නැත. ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම ඔබ සුදුසු මරණයටයි. මන්ද, ඔබ ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන් වන ඔබේ ස්වාමියා ආරක්ෂා කළේ නැත. හාත්පස බලන්න. රජ්ජුරුවන්ගේ හිස අසල තිබූ ඔහුගේ හෙල්ලයත්, වතුර භාජනයත් කොහේ දැ?” යි ඇසී ය. දාවිත්ගේ කටහඬ සාවුල් හැඳින ගත්තේ ය. “ඒ ඔබේ කටහඬ ද දාවිත් මා පුත!” යි ඔහු විමසී ය. “එසේය මගේ ස්වාමියා වූ රජතුමනි, ඒ මගේ කටහඬ” යැයි දාවිත් පිළිතුරු දුන්නේ ය. දාවිත් තවදුරටත් කතා කරමින්, “මගේ ස්වාමියා තම සේවකයා ලුහුබඳින්නේ කුමක් නිසා ද? මා කුමක් කළාට ද? මා වරදකරුවකු වන්නේ කවර අපරාධයකට ද? මගේ ස්වාමියා වන රජු දැන් තම සේවකයාගේ වචනවලට සවන් දෙත්වා! මට එරෙහිව ඔබ පෙලඹ වූයේ ස්වාමින්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නා සේක්වා! එහෙත්, එසේ කළේ මිනිසුන් නම්, ඔවුන් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ශාප ලද්දන් වේවා! මන්ද ස්වාමින්වහන්සේගේ උරුමයේ මගේ පංගු කොටසින්, මා පන්නා දැමූ ඔවුන්, ‘ගොස්, වෙනත් දෙවිවරුන්ට සේවය කරන්නැ’ යි කියා ඇත. ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් දුර ස්ථානයක මගේ ලේ බිම හැලෙන්නට ඉඩ නො දුන මැනව. කඳුකරයේ ඇටි කුකුළකු ලුහුබැඳ යන්නකු සේ ඉශ්රායෙල් රජු බලු මැක්කකු සොයා පිටත් ව ඇවිදින්” යැයි පැවසී ය.

