1 සාමුවෙල් 24:1-15

1 සාමුවෙල් 24:1-15 SCV

පිලිස්තිවරුන් ලුහුබැඳ යෑමෙන් පසු, සාවුල් ආපසු ආ කල, “අන්න! දාවිත් ඒන්-ගෙදී කාන්තාරයේ සිටිතැ” යි දන්වන ලදී. එවිට සාවුල් සමස්ත ඉශ්‍රායෙල් ජනයා වෙතින් තෝරාගත් මිනිසුන් තුන්දහසක් කැටිව, වල්එළු පර්වත අසල දාවිත් හා ඔහුගේ මිනිසුන් සොයන්නට පිටත් ව ගියේ ය. පාර අයිනේ වූ බැටළු කොටු වෙත ඔහු පැමිණියේ ය. එහි ගුහාවක් තිබිණ. ශරීර කෘත්‍ය පිණිස සාවුල් එහි ඇතුළු විය. දාවිත් හා ඔහුගේ මිනිසුන් හිඳ සිටියේ එහි ඇතුළු කෙළවරේ ය. එවිට දාවිත් ඇමතූ ඔහුගේ මිනිස්සු, “ ‘මෙන්න! ඔබේ කැමැත්තක් කරන්නට ඔබේ හතුරා ඔබේ අතට යටත් කර දෙමි’ යි ස්වාමින්වහන්සේ කියා ඇත්තේ අද දවස ගැන” යි කීහ. එවිට දාවිත් නැගිට ගොස්, සාවුල්ගේ පිට කබායේ කොනක් රහසේ කපා ගත්තේ ය. සාවුල්ගේ පිට කබා කොනක් කපා ගැනීම ගැන දාවිත්ගේ සිත පසුව ඔහුට දොස් පැවරී ය. එබැවින් තම මිනිසුන් ඇමතූ දාවිත්, “ස්වාමින්වහන්සේගේ අභිෂේක ලද්දා වන මගේ ස්වාමියාට එරෙහිව අත එසවීම වැනි දෙයක් කිරීමෙන්, ස්වාමින්වහන්සේ මා වළකන සේක්වා! මන්ද ඔහු ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා යැ” යි කීවේ ය. ඒ වචන මගින් තම මිනිසුන්ට තරවටු කළ දාවිත්, සාවුල්ට පහර දීමට ඔවුනට ඉඩ නුදුන්නේ ය. සාවුල් නැගිට, ගුහාවෙන් නික්ම, යන්නට ගියේ ය. ඉන්පසු දාවිත් නැගිට සිට, ගුහාවෙන් පිටතට ගොස්, සාවුල් අමතමින්, “මගේ ස්වාමියා වූ රජ්ජුරුවනි” යි හඬ ගෑය. එවිට සාවුල් පිටුපස හැරී, බැලූ කල, දාවිත් බිමට නැමී, මුහුණ බිමට නමා, ගෞරවාචාර දැක්වී ය. ඉන්පසු සාවුල් ඇමතූ ඔහු, “ ‘අන්න ඔබට අනතුරු කරන්නට දාවිත් බලා සිටී’ කියන මිනිසුන්ට ඔබ මොකට සවන් දෙනවා ද? බලන්න! ගුහාව තුළදී ස්වාමින්වහන්සේ මගේ අතට ඔබ හසුකර දුන් හැටි මේ අද දවසේ ඔබේ ම ඇස්වලින් ඔබ දුටුවා නේද! ඔබ මරා දමන ලෙස ඇතමුන් මට බල කළත්, මම ඔබ බේරුවෙමි. මා කියා සිටියේ, ‘මගේ ස්වාමියා ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා වන බැවින් ඔහුට විරුද්ධ ව මා මගේ අත ඔසවන්නේ නැත’ කියායි. මෙන්න! මා පියාණෙනි, බලන්න, ඔබේ පිට කබායේ කැබැල්ලක් මා අතේ තිබෙන හැටි! ඔබේ කබායේ කොනක් මා කපා ගත් නමුත්, මා ඔබ මැරුවේ නැහැ. එබැවින් මගේ අතේ වරදක් හෝ කැරලි ගැසීමක් නැති වග බලා දැනගන්න. මා ඔබට වරදක් කළේ නෑ. එහෙත් ඔබ මගේ දිවි තොර කිරීමට මා ලුහුබඳිනවා. ස්වාමින්වහන්සේ ඔබත්, මාත් අතර විනිශ්චය කරන සේක්වා! ස්වාමින්වහන්සේ මා වෙනුවෙන් ඔබගෙන් පළිගන්න සේක්වා! එහෙත් මගේ අත ඔබට එරෙහිව නො යේ. පැරණි කියමනකින් කියැවෙන පරිදි ‘දුෂ්ටයන්ගෙන් දුෂ්ටකම නික්මෙයි.’ මගේ අත නම් ඔබට එරෙහි වන්නේ නැහැ. “ඉශ්‍රායෙල් රජතුමා පිටත් ව ආවේ, කවරකුට එරෙහිව ද? ඔබ ලුහුබැඳ යන්නේ කවරකු ද? මළ බල්ලකු, බලු මැක්කකු පසු පස්සේ ද? ස්වාමින්වහන්සේ අපගේ විනිශ්චයකරුවාණන් වී, අප ගැන තීරණය කරන සේක්වා. උන්වහන්සේ මගේ නඩුව අසා, විමසන සේක්වා. මට යුක්තිය ඉටු කොට ඔබේ අතින් මා මුදන සේක්වා!” යි පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 24:1-15 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය