1 සාමුවෙල් 22

22
අදුල්ලාම්හි දී හා මිස්පාහි දී
1දාවිත් ගාත් පුර අතහැර, අදුල්ලාම් ගුහාවට බේරී ගියේ ය. ඔහුගේ සහෝදරයින් හා ඔහුගේ පියාගේ සියලු ගෘහ වාසීන් ඒ වග ඇසූ කල, ඔවුහු ද ඔහු වෙත එහි ගියහ. 2දුකට, විපතට පත්වූවන් ද ණයට, තුරුසට පත්වූවන් ද අසහනයට පත්වූවන් ද යන සැවොම ඔහු වටා රොක් වූහ. ඔහු ඔවුන්ගේ නායකයා විය. ඔහු සමඟ මිනිසුන් හාරසියයක් පමණ දෙනෙක් වූහ.
3එතැනින් මෝවබ්හි මිස්පේ වෙත ගිය දාවිත්, මෝවබ් රජුට කතා කොට, “මා උදෙසා දෙවියන්වහන්සේ කුමක් කරන සේක් දැයි දැනගන්නා තුරු මගේ පියාටත්, මවටත් මෙහි පැමිණ, ඔබ හා නවතින්නට ඉඩ දෙන්නැ” යි ඉල්ලී ය. 4එබැවින් ඔහු මෝවබ් රජු ළඟට ඔවුන් ගෙන ගියේ ය. දාවිත් බළකොටු ගුහාවේ ගත කළ කාලය මුළුල්ලේ ඔවුන් සිටියේ ඔහු ළඟ ය.
5එහෙත් ගාද් දිවැසිවරයා දාවිත්ට කතා කොට, “බළකොටුවට වී නො සිට, යූදා දේශයට යන්නැ” යි කීවේ ය. එබැවින් දාවිත් එතැනින් නික්ම, හෙරෙත් වනයට ගියේ ය.
සාවුල් නොබ්හි පූජකයින් ඝාතන කිරීම
6මේ අතර, දාවිත් හා ඔහුගේ මිනිසුන් හමු විණැයි සාවුල්ට අසන්නට ලැබිණි. සාවුල් තම හෙල්ලය ද අතේ ඇති ව ගිබෙයා කන්ද මත වූ එෂෙල් ගසක් යට හිඳ සිටියේ ය. ඔහුගේ සියලු නිලධාරීහු ඔහු වටා සිටගෙන වුන්හ. 7සාවුල් ඔහු වටා හිටගෙන සිටි නිලධාරීන්ට කතා කොට, “සවන් දෙන්න, බෙන්යමින්වරුනි, යෙස්සේගේ පුත්‍රයා ඔබ හැමට කෙත් වතුත්, මිදි වතුත් දෙනු ඇද්ද? ඔහු දහසේ සේනාපතීන් හා සියයේ සේනාපතීන් කොට ඔබ හැම පත් කරනු ඇද්ද? 8ඔබ හැම මට එරෙහිව කුමන්ත්‍රණ කරන්නේ එනිසා ද? යෙස්සේගේ පුතා සමඟ මගේ පුතා ගිවිසුමක් කරන කල, කිසිවකුත් ඒ ගැන මට හෙළි කරන්නේ නැත. කිසිවකුත් මා ගැන සලකන්නේ නැත. මගේ සේවකයා අද දවසේ කරන පරිදි, මට එරෙහිව රහසේ රැක සිටින්නට මගේ පුතා විසින් ම පොලඹවන ලද වග ගැන කිසිවකුත් මට කියන්නේ නැතැ” යි කීවේ ය.
9සාවුල්ගේ නිලධාරීන් සමඟ සිටගෙන සිටි ඒදොම්වර දෝවෙග් කතා කරමින්, “යෙස්සේගේ පුත්‍රයා, අහිටූබ්ගේ පුත් අහිමෙලෙක් හමුවට නොබ් වෙත එනවා මා දැක්කා. 10අහිමෙලෙක් ඔහු උදෙසා ස්වාමින්වහන්සේගෙන් විමසුවා. ඔහුට ආහාරත්, පිලිස්තීය ගොලියත්ගේ කඩුවත් දුන්නා” යි කීවේ ය.
11එවිට රජු, අහිටූබ්ගේ පුත් පූජක අහිමෙලෙක් ද නොබ්හි පූජකයින් වූ ඔහුගේ පියාගේ පවුලේ සියල්ලන් ද කැඳවා යැවී ය. ඔවුහු සියල්ලෝ රජු වෙත පැමිණියහ. 12සාවුල් කතා කරමින්, “දැන් සවන් දෙනු, අහිටූබ්ගේ පුත්‍ර යැ” යි කීවේ ය.
“එහෙමයි, මා ස්වාමිනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
13සාවුල් ඔහු අමතමින්, “යෙස්සේගේ පුතා මට එරෙහිව කැරලි ගසා, ඔහු අද දවසේ කරන පරිදි මට එරෙහිව රහසේ රැක සිටීමට හැකි වන පිණිස, ඔහුට ආහාර ද කඩුවක් ද දීමෙන් හා ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විමසීමෙන් නුඹත්, යෙස්සේගේ පුතාත් මට එරෙහිව කුමන්ත්‍රණ කළේ මන්දැ?” යි ඇසී ය.
14අහිමෙලෙක් රජුට පිළිතුරු දෙමින්, “රජුගේ බෑණනුවන් ද ඔබේ ආරක්ෂකයින්ගේ ප්‍රධානී ද ඔබේ ගෘහ වාසීන් අතරේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ද දාවිත් මෙන් විශ්වාස පක්ෂ ව සිටින්නේ ඔබගේ සියලු සේවකයින් අතරේ කවුරු ද? 15ඔහු උදෙසා මා දෙවියන්වහන්සේගෙන් විමසූ පළමු අවස්ථාව ඒ දවස ද? සැබවින් ම නැත. මේ මුළු කාරණය සම්බන්ධයෙන් ඔබේ සේවකයා කිසි දෙයක් නො දන්නා බැවින්, රජ්ජුරුවෝ ඔබගේ සේවකයාටත්, ඔහුගේ පියාගේ පවුලේ කිසිවකුටත් වරද නො තබත්වා” යි කීවේ ය.
16එහෙත් රජු, “අහිමෙලෙක්, සැබවින් ම නුඹ මරණයට පත් විය යුතුයි. නුඹත්, නුඹේ පියාගේ පවුලේ සියල්ලනුත් යැ” යි කීවේ ය.
17එසේ කී රජ තමා පසෙක සිටි ආරක්ෂකයින්ට නියෝග කරමින්, “හැරී, ස්වාමින්වහන්සේගේ පූජකයින් මරා දමනු. මන්ද ඔවුන් දාවිත්ට එකතු වෙලා. ඔහු පලා යන වග දැන දැනත්, ඔවුන් ඒ වග මට කීවේ නැතැ” යි කීවේ ය.
එහෙත්, ස්වාමින්වහන්සේගේ පූජකයින්ට පහර දෙනු පිණිස අතක් ඔසවන්නට රජුගේ නිලධාරීහු නො කැමති වූහ.
18එවිට රජු දෝවෙග්ට නියෝග කරමින්, “නුඹ හැරී, පූජකයින්ට පහර දෙනු” යි කීවේ ය. එබැවින් ඒදොමීය දෝවෙග් හැරී, ඔවුන් ගසා හෙළී ය. ඒ දවසේ හණ ඒපොද් හැඳ සිටි අසූපස් දෙනකු ඔහු මරා දැමී ය. 19ඔහු පූජකයින්ගේ නගරය වන නොබ් ද එහි ස්ත්‍රීන්, පුරුෂයින්, ළමයින් හා ළදරුවන් ද ගව, බූරු, බැටළු යන සතුන් ද සමඟ කඩු මුවහතින් මරා දැම්මේ ය.
20එහෙත් අහිටූබ්ගේ පුත්‍ර අහිමෙලෙක්ගේ පුත් අබියාතර් බේරී පලා ගොස්, දාවිත්ට එකතු වූයේ ය. 21සාවුල් ස්වාමින්වහන්සේගේ පූජකයින් මරා දැමූ වග අබියාතර් දාවිත්ට පැවසී ය. 22එවිට අබියාතර් ඇමතූ දාවිත්, “එදා ඒදොමීය දෝවෙග් එහි සිටි බැවින්, ඔහු නිසැක ව සාවුල්ට කියනු ඇතැයි මා දැන සිටියා. ඔබේ පියාගේ පවුලේ සියල්ලන්ගේ මරණයට වගකිව යුත්තා මමයි. 23මා සමඟ නැවතී සිටින්න. භය නො වන්න. මගේ දිවි තොර කරන්නට සොයන්නා ඔබේ ද දිවි තොර කරන්නට සොයයි. මා ළඟ ඔබට ආරක්ෂාව ඇතැ” යි කීවේ ය.

දැනට තෝරාගෙන ඇත:

1 සාමුවෙල් 22: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න