1 සාමුවෙල් 19:1-17
1 සාමුවෙල් 19:1-17 SCV
සාවුල්, තම පුත් යොනාතාන්ට හා තම සේවකයින් සියලු දෙනාට දාවිත් මරා දමන්නැයි කීවේ ය. එහෙත් සාවුල්ගේ පුත් යොනාතාන්ට දාවිත් බෙහෙවින් ප්‍රසාදජනක විය. එබැවින් යොනාතාන්, දාවිත් අමතමින්, “මගේ පියා, සාවුල්, ඔබ මරන්නට මාන බලයි. එබැවින් හෙට උදයේ පරෙස්සම් වන්න. රහස් තැනකට වී සැඟවෙන්න. එවිට මම බැද්දේ ඔබ සිටිනා තැනට අවුත්, මගේ පියා පසෙක සිට ඔහුට ඔබ ගැන කතා කරන්නම්. මට දැනගත හැකි වන දෑ මා ඔබට කියන්නම්” යැයි කීවේ ය. යොනාතාන් තම පියා වූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්, “රජතුමා තම සේවක දාවිත්ට නපුරක් නො කෙරේවා. ඔහු ඔබතුමාට වරදක් කර නෑ. ඔහු කර ඇති දෑ ඔබට බෙහෙවින් වැඩදායකයි. ඔහු අර පිලිස්තීයයා මැරූ වේලේ ඔහුගේ ජීවිතයත් පරදුවට තැබුවා. ස්වාමින්වහන්සේ මුළු මහත් ඉශ්‍රායෙල්ට ඉමහත් ජයක් ගෙන දුන්නා. ඔබත් එය දැක සොම්නස් වුණා. එසේ නම්, කිසිදු හේතුවක් නැතිව දාවිත් වැනි මිනිසකු මරා, නිදොස් ලේ ගැන පව් කරන්නේ ඇයි දැ?” යි ඇසී ය. සාවුල්, යොනාතාන්ගේ කටහඬට සවන් දුන්නේ ය. “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, දාවිත් මරනු නො ලබන්නේ යැ” යි සාවුල් දිවුළේ ය. එබැවින් දාවිත්ට හඬ ගැසූ යොනාතාන් ඒ සියලු පුවත් ඔහුට සැල කළේ ය. යොනාතාන්, සාවුල් වෙත දාවිත් කැඳවාගෙන ආවේ ය. ඔහු පෙර පරිද්දෙන් සාවුල් සමඟ සිටියේ ය. යළිත් වරක් යුද්ධය පැන නැංගේ ය. දාවිත් පිටත් ව, පිලිස්තිවරුන් සමඟ සටන් කළේ ය. ඔහු කෙතරම් දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ද යත්, ඔවුහු ඔහු ඉදිරිපිටින් පලා ගියහ. පසුව ස්වාමින්වහන්සේ වෙතින් වූ දුෂ්ට ආත්මයක් සාවුල් පිට පැමිණියේ, ඔහු තම හෙල්ලය අතේ ඇති ව තම නිවසේ හිඳ සිටියදී ය. දාවිත් වීණාව වයමින් සිටියේ ය. සාවුල් තම හෙල්ලයෙන් ගසා, දාවිත් බිත්තියට ම අමුණාලන්නට තැත් දැරී ය. එහෙත් සාවුල් හෙල්ලයෙන් බිත්තියට අනිද්දී ම, දාවිත් ඔහුගෙන් යාන්තමින් බේරුණේ ය; ඒ රැයේ ම දාවිත් පලා ගොස්, ගැලවුණේ ය. පසු දා උදයේ දාවිත් මරා දමන අදහසින් දාවිත්ගේ නිවස මුර කරන්නට සාවුල් මිනිසුන් යැවී ය. එහෙත් දාවිත්ගේ බිරිඳ වූ මීකල් ඔහුට ඒ වග දන්වමින්, “දිවි ගලවා ගන්නට අද රෑ ඔබ පැන නො ගියහොත්, හෙට උදයේ ඔබ මරා දමනු ඇතැ” යි කීවා ය. එබැවින් මීකල්, ජනේලයක් තුළින් දාවිත්ට පහළ බසින්නට සැලසුවා ය. ඔහු පලා ගොස්, ගැලවුණේ ය. මීකල් ඉන්පසු පිළිමයක් ගෙන, එය ඇඳෙහි බෑවී ය. ඇඳුමකින් එය වසා, එහි හිසට එළු ලොම් තැබී ය. දාවිත් අල්ලාගෙන යෑමට සාවුල් මිනිසුන් එවූ කල, “ඔහු අසනීපයෙන්” යැයි ඈ කීවා ය. එවිට දාවිත් බැලීමට යළි මිනිසුන් පිටත් කළ සාවුල්, “මා ඔහු මරා දමන පිණිස, ඇඳ පිටින් ම ඔහු මා වෙත ගෙනෙනු” යි කීවේ ය. එහෙත් මිනිසුන් පැමිණි විට මෙන්න එහි ඇඳ මත වූයේ හිස අද්දර එළු ලොමින් යුත් පිළිමයකි. එවිට මීකල් ඇමතූ සාවුල්, “නුඹ මෙසේ මා රවටා, මගේ හතුරාට ගැලවීගන්නට ඔහු පිටත් කර ඇරියේ මන්දැ?” යි ඇසී ය. මීකල් පිළිතුරු දෙමින්, “ඔහු මා අමතා, ‘මට යන්නට ඉඩ දෙන්න. කුමට නුඹ මා අතින් මැරුම් කනවා ද?’ කියා මට කීවා” යි පැවසුවා ය.

