1 සාමුවෙල් 18

18
සාවුල්ගේ ඊර්ෂ්‍යාව
1සාවුල් සමඟ දාවිත් කතා කර නිම වූ පසු, යොනාතාන් දාවිත් හා පණට පණ බැඳුණේ ය. යොනාතාන් තමාට සේ ම, ඔහුට ප්‍රේම කළේ ය. 2එදවසේ පටන් සාවුල් තමා වෙත ම දාවිත් නවතා ගනිමින්, ඔහුගේ පියාගේ නිවසට ආපසු යෑමට ඉඩ දුන්නේ නැත. 3යොනාතාන් තම පණට සේ ම, ඔහුට ප්‍රේම කළ බැවින්, ඔහු දාවිත් සමඟ ගිවිසුමක් කළේ ය. 4යොනාතාන් ඇඳ සිටි තම පිට කබාය ගලවා, දාවිත්ට දුන්නේ තම සන්නාහය ද තම අසිපත ද තම දුන්න හා තම බඳ පටිය ද සමඟිනි.
5සාවුල් විසින් කවර කාරියකට යවන ලද වුව, දාවිත් සාර්ථක ලෙස එය ඉටු කළේ ය. එබැවින් සාවුල් හමුදාවේ ඉහළ නිලයකට ඔහු පත් කළේ ය. එය මුළු මහත් ජනයාගේ ද සාවුල්ගේ නිලධාරීන්ගේ ද සතුටට හේතු විණ.
6දාවිත් පිලිස්තීයයා මරා දැමූ පසු, මිනිසුන් ආපසු එද්දී, ඉශ්‍රායෙලයේ සියලු නගරවලින් නික්ම ආ කාන්තාවෝ ප්‍රීති ගී ද රබන් ද අත්තාලම් ද සහිත ව ගයමින්, නටමින්, සාවුල් රජ හමුවට ආවෝ ය. 7ඔවුහු නටමින්, මෙසේ ගැයූහ:
“සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්,
දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්.”
8සාවුල් බෙහෙවින් කෝප විය. එම කියමන, ඔහු නො සතුටට පත් කළේ ය. “ඔවුහු දාවිත්ට දස දහස් ගණන් පිරිනමති. එහෙත් මට දහස් ගණන් පමණි. රජකම මිස, ඔහුට තවත් ලැබෙන්නට ඇත්තේ වෙන මොනවා දැ?” යි ඔහු සිතී ය. 9ඒ දවසේ පටන් සාවුල්, දාවිත් දෙස බැලුවේ විපරම් දෑසිනි.
10ඊළඟ දවසේ, දෙවියන්වහන්සේ වෙතින් වූ දුෂ්ට ආත්මයක්#18:10 දුෂ්ට ආත්මයක් හෙවත් හානි කරන ආත්මයක්, බලවත් ව සාවුල් පිට පැමිණියේ ය. දාවිත් සුපුරුදු පරිදි වීණාව වයන අතරේ, සාවුල් තම නිවස තුළ නන් දොඩන්නට වන්නේ ය. සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි. 11“මම බිත්තියට ම දාවිත් අමුණමි” යි සිතූ සාවුල් හෙල්ලය දමා ගැසී ය. එහෙත් දාවිත් දෙවරක් ම ඉවත පැන බේරුණේ ය.
12සාවුල්, දාවිත්ට භය විය. එසේ වූයේ ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ නිසාත්, උන්වහන්සේ සාවුල් වෙතින් ඉවත් ව ගොස් සිටි නිසාත් ය. 13එබැවින් සාවුල් තමා වෙතින් දාවිත් ඉවත් කොට, දහසක සේනාවකට අණ දෙන්නකු කොට ඔහු පත් කළේ ය. දාවිත් සංග්‍රාමයෙහි දී සෙබළුන්ගේ පෙරමුණ ගත්තේ ය. 14ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ බැවින්, කළ කවර දෙයින් වුව, ඔහු සඵල විය. 15දාවිත් බොහෝ සෙයින් සඵල වනු දුටු සාවුල් ඔහුට භය විය. 16එහෙත් ඉශ්‍රායෙල් හා යූදා සියල්ලෝ දාවිත්ට ප්‍රේම වූහ. මන්ද ඔහු පිටතට ගියේත්, ඇතුළට ආවේත් ඔවුන්ගේ පෙරමුණ ගනිමින් බැවිනි.
17එයින් පසු දාවිත්ට කතා කළ සාවුල්, “මෙන්න මගේ වැඩිමල් දියණිය මේරබ්. ඔබේ බිරිඳක කොට මා ඇය ඔබට දෙනවා. මා උදෙසා වික්‍රමාන්විත ව සේවය කරමින්, ස්වාමින්වහන්සේගේ යුද්ධවලදී සටන් වදින්නැ” යි කීවේ ය. ඔහු එසේ කීවේ, “ඔහුට එරෙහිව මා අත ඔසවන්නේ නෑ; පිලිස්තිවරුන් එය කළා වේ” යි අදහස් කරමිනි.
18එහෙත් සාවුල් ඇමතූ දාවිත්, “රජ්ජුරුවන්ගේ බෑණා වීමට මා කවරෙක් ද? මගේ පවුල හෝ මගේ පියාගේ පෙළපත හෝ ඉශ්‍රායෙල්හි ඊට තරම් වේ දැ?” යි පැවසී ය. 19කෙසේ වුව ද සාවුල්ගේ දියණිය වූ මේරබ්, දාවිත්ට දිය යුතු වූ කාලය පැමිණි කල, මෙහොලාතීය අද්රියෙල්ට ඇය බිරිඳක් කොට දෙන ලද්දී ය.
20මේ අතර සාවුල්ගේ දියණිය වූ මීකල්, දාවිත්ට පෙම් බැන්දා ය. ඒ වග සාවුල්ට සැල කරනු ලැබූ කල, එය ඔහුගේ ප්‍රසන්නතාවට හේතු විය. 21සාවුල් මෙසේ සිතී ය: “ඇය ඔහුට මලපතක් වන පිණිස, මම ඔහුට ඇය දෙන්නෙමි. මෙසේ පිලිස්තිවරුන්ගේ අත, ඔහුට එරෙහි වනු ඇත.” එබැවින් දාවිත් ඇමතූ සාවුල්, “මගේ බෑණන්ඩිය වීමේ දෙවන අවස්ථාවක් ඔබට ලැබී තිබේ යැ” යි කීවේ ය.
22සාවුල් තම සේවකයින්ට අණ කරමින්, “දාවිත් සමඟ රහසින් කතා කොට ඔහුට මෙසේ කියන්න. ‘අන්න! රජතුමා ඔබ ගැන ප්‍රසන්න වෙලා. ඔහුගේ සියලු සේවකයින්ටත් ඔබ ප්‍රියයි. එබැවින් දැන් ඔහුගේ බෑණා වන්න’ යැයි පවසන්නට” කීවේ ය.
23එබැවින් සාවුල්ගේ සේවකයෝ එම වචන දාවිත්ගේ කනේ තැබූහ. එහෙත් දාවිත් පිළිතුරු දෙමින්, “ඔබ සිතන්නේ රජ්ජුරුවන්ගේ බෑණනුවන් වීම සුළු දෙයක් කියා ද? දුප්පතකු වන මා කිසි කීර්තියක් ඇත්තකු නො වේ” යි කීවේ ය.
24සාවුල්ගේ සේවකයෝ, “දාවිත් මේ ලෙස පැවසූහ” යි සාවුල්ට කී කල, 25සාවුල් පිළිතුරු දෙමින්, “ ‘මනාලිය සඳහා තෑගි ගාස්තුව වශයෙන් රජ්ජුරුවන්ට වුවමනා ඔහුගේ සතුරන්ගෙන් පළි ගැනීමට පිලිස්තීන් සිය දෙනකුගේ චර්මාග්‍ර පමණි’ යැයි දාවිත්ට කියන්නැ” යි කීවේ ය. සාවුල් සිතුවේ පිලිස්තිවරුන් අතින් දාවිත් වැටී යන්නට සැලැස්වීම ය.
26ඔහුගේ සේවකයින් ඒ වචන දාවිත්ට සැල කළ කල්හි, රජුගේ බෑණා වන්නට ඔහු මනාප විය. වෙන් කරන ලද කාලය ගෙවෙන්නට පෙර, 27දාවිත් නැගිට, තමාගේ මිනිසුන් සමඟ පිටත් ව, පිලිස්තීන් දෙසිය දෙනකු මැරූහ. රජුගේ බෑණනුවන් වන පිණිස ඔහු ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඒ සම්පූර්ණ ගණන රජුට පිළිගැන්වී ය. එවිට සාවුල් තම දියණිය මීකල්, ඔහුට බිරිඳක කොට දුන්නේ ය.
28 ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ වගත්, තම දියණිය මීකල් දාවිත්ට ප්‍රේම කළ වගත් වැටහුණු කල, 29සාවුල් වඩ වඩා ඔහුට භය විය. සාවුල් ඔහුගේ සියලු දවස්වල දාවිත්ට සතුරු විය.
30පිලිස්තීය සෙන්පතීහු දිගට ම සටනට ආහ. ඔවුන් එසේ කරන්නට, කරන්නට සාවුල්ගේ සෙසු නිලධාරීනට වඩා දාවිත් අතිශයෙන් සඵල විය. ඔහුගේ නම අතිශයෙන් ජනප්‍රිය විය.

දැනට තෝරාගෙන ඇත:

1 සාමුවෙල් 18: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න