1 සාමුවෙල් 18:1-16

1 සාමුවෙල් 18:1-16 SCV

සාවුල් සමඟ දාවිත් කතා කර නිම වූ පසු, යොනාතාන් දාවිත් හා පණට පණ බැඳුණේ ය. යොනාතාන් තමාට සේ ම, ඔහුට ප්‍රේම කළේ ය. එදවසේ පටන් සාවුල් තමා වෙත ම දාවිත් නවතා ගනිමින්, ඔහුගේ පියාගේ නිවසට ආපසු යෑමට ඉඩ දුන්නේ නැත. යොනාතාන් තම පණට සේ ම, ඔහුට ප්‍රේම කළ බැවින්, ඔහු දාවිත් සමඟ ගිවිසුමක් කළේ ය. යොනාතාන් ඇඳ සිටි තම පිට කබාය ගලවා, දාවිත්ට දුන්නේ තම සන්නාහය ද තම අසිපත ද තම දුන්න හා තම බඳ පටිය ද සමඟිනි. සාවුල් විසින් කවර කාරියකට යවන ලද වුව, දාවිත් සාර්ථක ලෙස එය ඉටු කළේ ය. එබැවින් සාවුල් හමුදාවේ ඉහළ නිලයකට ඔහු පත් කළේ ය. එය මුළු මහත් ජනයාගේ ද සාවුල්ගේ නිලධාරීන්ගේ ද සතුටට හේතු විණ. දාවිත් පිලිස්තීයයා මරා දැමූ පසු, මිනිසුන් ආපසු එද්දී, ඉශ්‍රායෙලයේ සියලු නගරවලින් නික්ම ආ කාන්තාවෝ ප්‍රීති ගී ද රබන් ද අත්තාලම් ද සහිත ව ගයමින්, නටමින්, සාවුල් රජ හමුවට ආවෝ ය. ඔවුහු නටමින්, මෙසේ ගැයූහ: “සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්, දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්.” සාවුල් බෙහෙවින් කෝප විය. එම කියමන, ඔහු නො සතුටට පත් කළේ ය. “ඔවුහු දාවිත්ට දස දහස් ගණන් පිරිනමති. එහෙත් මට දහස් ගණන් පමණි. රජකම මිස, ඔහුට තවත් ලැබෙන්නට ඇත්තේ වෙන මොනවා දැ?” යි ඔහු සිතී ය. ඒ දවසේ පටන් සාවුල්, දාවිත් දෙස බැලුවේ විපරම් දෑසිනි. ඊළඟ දවසේ, දෙවියන්වහන්සේ වෙතින් වූ දුෂ්ට ආත්මයක්, බලවත් ව සාවුල් පිට පැමිණියේ ය. දාවිත් සුපුරුදු පරිදි වීණාව වයන අතරේ, සාවුල් තම නිවස තුළ නන් දොඩන්නට වන්නේ ය. සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි. “මම බිත්තියට ම දාවිත් අමුණමි” යි සිතූ සාවුල් හෙල්ලය දමා ගැසී ය. එහෙත් දාවිත් දෙවරක් ම ඉවත පැන බේරුණේ ය. සාවුල්, දාවිත්ට භය විය. එසේ වූයේ ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ නිසාත්, උන්වහන්සේ සාවුල් වෙතින් ඉවත් ව ගොස් සිටි නිසාත් ය. එබැවින් සාවුල් තමා වෙතින් දාවිත් ඉවත් කොට, දහසක සේනාවකට අණ දෙන්නකු කොට ඔහු පත් කළේ ය. දාවිත් සංග්‍රාමයෙහි දී සෙබළුන්ගේ පෙරමුණ ගත්තේ ය. ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ බැවින්, කළ කවර දෙයින් වුව, ඔහු සඵල විය. දාවිත් බොහෝ සෙයින් සඵල වනු දුටු සාවුල් ඔහුට භය විය. එහෙත් ඉශ්‍රායෙල් හා යූදා සියල්ලෝ දාවිත්ට ප්‍රේම වූහ. මන්ද ඔහු පිටතට ගියේත්, ඇතුළට ආවේත් ඔවුන්ගේ පෙරමුණ ගනිමින් බැවිනි.

1 සාමුවෙල් 18:1-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය