1 සාමුවෙල් 17:42-51

1 සාමුවෙල් 17:42-51 SCV

දාවිත් දෙස විපරමින් බැලූ පිලිස්තීයයා, රත් පැහැයෙන් හා කඩවසමින් යුත් දාවිත් තවමත් කොලුවකු වග දැක, ඔහු සුළු කරමින්, දාවිත් අමතා, “නුඹ කෙවිට ගෙන මා දෙසට එන්නේ මා බල්ලෙක් දැ?” යි ඇසී ය. ඉන්පසු පිලිස්තීයයා තම දෙවිවරුන්ගේ නමින් දාවිත්ට ශාප කළේ ය. යළි දාවිත් ඇමතූ පිලිස්තීයයා, “මෙහි එනු! මා නුඹේ මස් අහසේ පක්ෂීන්ටත්, බැද්දේ වන සතුන්ටත් දෙනවා!” යි පාරම්බෑවේ ය. එවිට දාවිත්, පිලිස්තීයයා අමතමින්, “නුඹ කඩු, හෙල්ල, තෝමර දරා, මට එරෙහිව ආවත්, මා නුඹට එරෙහිව එන්නේ, නුඹ විසින් නිග්‍රහ කළ සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන්; ඉශ්‍රායෙල් හමුදාවල දෙවියන්වහන්සේගේ නාමයෙන්. ස්වාමින්වහන්සේ අද දවසේ මගේ අතට නුඹ යටත් කර දෙන සේක. මම නුඹ ගසා හෙළා, නුඹේ හිස ගසා දමනවා; අද දවසේ මා පිලිස්ති හමුදාවල මළ කඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ වන-මෘගයින්ටත් දෙනවා. ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකුන් වැඩ වසන වග එවිට මුළු ලෝකය ම දැන ගනීවි. ස්වාමින්වහන්සේ ගලවන්නේ කඩුවෙන් හෝ හෙල්ලයෙන් නො වන වග මෙහි රැස් ව සිටින සැවොම එවිට දැනගන්නවා ඇති. මන්ද සටන ස්වාමින්වහන්සේගේයි. උන්වහන්සේ අපේ අත්වලට නුඹලා දෙනු ඇතැ” යි පැවසී ය. පිලිස්තීයයා නැගිට අවුත්, දාවිත් හමුවට ළං වන කල, දාවිත් පිලිස්තීයයා හමුවට හනි හනිකට සටන් පෙරමුණ ට දිව්වේ ය. දාවිත් තම අත තම මල්ල තුළට දමා ගල් කැටයක් ගෙන, විද්දේ පිලිස්තීයයාගේ නළලට වදින්නට ය. ගල ඔහුගේ නළල පසාරු කර ගෙන ගියේ ය. ඔහු තම මුහුණ බිම වැදෙන්නට ඇද වැටුණේ ය. මෙසේ දාවිත් ගල් පටියෙන් හා ගලකින් පිලිස්තීයයාගෙන් ජය ගත්තේ ය. ඔහු පිලිස්තීයයා ගසා හෙළා, මරා දැම්මේ ය. දාවිත්ගේ අතේ කඩුවක් නො වී ය. දාවිත් දුව ගොස්, පිලිස්තීයයා පිට සිටගෙන, ඔහුගේ කඩුව කොපුවෙන් ඇද, ඔහු මරා, එයින් ම ඔහුගේ හිස වෙන් කර දැමී ය. තමන්ගේ රණශූරයා මැරුණු වග දුටු පිලිස්තිවරු පලා දුවන්නට වන්හ.