1 සාමුවෙල් 17:38-47

1 සාමුවෙල් 17:38-47 SCV

ඉන්පසු සාවුල් තම යුද-කබාය දාවිත්ට හඳවා, ඔහුගේ හිස මත ලෝකඩ ආරක්ෂක තොප්පියක් තබා, ඔහු සන්නාහ සන්නද්ධ කළේ ය. දාවිත් ඔහුගේ කඩුව යුද කබායේ බැඳ, ඇවිදින්නට උත්සාහ ගත්ත ද, ඒවා ඔහුට නුහුරු නුපුරුදු බැවින් එසේ කළ නො හැකි විය. එබැවින් දාවිත්, සාවුල්ට කතා කොට, “මට හුරු නැති නිසා මේවා ඇඳගෙන ගිය නො හැකි යැ” යි කීවේ ය. මෙසේ දාවිත් ඒවා ගලවා දැමී ය. ඉන්පසු ඔහු තම කෙවිට තම අතින් ගෙන, සුමුදු ගල් කැට පහක් දිය පහර වෙතින් අහුලා, ඒවා තම එඬේර මලු පසුම්බියේ ලා ගත්තේ ය. තම ගල්-පටිය තම අතින් ගත් ඔහු පිලිස්තීයයා දෙසට ළඟා විය. පිලිස්තීයයා දාවිත්ට ළං වෙමින් සිටියේ ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය. දාවිත් දෙස විපරමින් බැලූ පිලිස්තීයයා, රත් පැහැයෙන් හා කඩවසමින් යුත් දාවිත් තවමත් කොලුවකු වග දැක, ඔහු සුළු කරමින්, දාවිත් අමතා, “නුඹ කෙවිට ගෙන මා දෙසට එන්නේ මා බල්ලෙක් දැ?” යි ඇසී ය. ඉන්පසු පිලිස්තීයයා තම දෙවිවරුන්ගේ නමින් දාවිත්ට ශාප කළේ ය. යළි දාවිත් ඇමතූ පිලිස්තීයයා, “මෙහි එනු! මා නුඹේ මස් අහසේ පක්ෂීන්ටත්, බැද්දේ වන සතුන්ටත් දෙනවා!” යි පාරම්බෑවේ ය. එවිට දාවිත්, පිලිස්තීයයා අමතමින්, “නුඹ කඩු, හෙල්ල, තෝමර දරා, මට එරෙහිව ආවත්, මා නුඹට එරෙහිව එන්නේ, නුඹ විසින් නිග්‍රහ කළ සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන්; ඉශ්‍රායෙල් හමුදාවල දෙවියන්වහන්සේගේ නාමයෙන්. ස්වාමින්වහන්සේ අද දවසේ මගේ අතට නුඹ යටත් කර දෙන සේක. මම නුඹ ගසා හෙළා, නුඹේ හිස ගසා දමනවා; අද දවසේ මා පිලිස්ති හමුදාවල මළ කඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ වන-මෘගයින්ටත් දෙනවා. ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකුන් වැඩ වසන වග එවිට මුළු ලෝකය ම දැන ගනීවි. ස්වාමින්වහන්සේ ගලවන්නේ කඩුවෙන් හෝ හෙල්ලයෙන් නො වන වග මෙහි රැස් ව සිටින සැවොම එවිට දැනගන්නවා ඇති. මන්ද සටන ස්වාමින්වහන්සේගේයි. උන්වහන්සේ අපේ අත්වලට නුඹලා දෙනු ඇතැ” යි පැවසී ය.