1 සාමුවෙල් 17:1-51

1 සාමුවෙල් 17:1-51 SCV

මෙකල පිලිස්තිවරු තම හමුදා රැස් කරවා, යූදාට අයත් සෝකෝ වෙත එක් රැස් වූහ. ඔවුහු සෝකෝ හා අසේකා අතර පිහිටි එෆෙස්-දම්මීම්හි කඳවුරු ගසා ගත්හ. සාවුල් හා ඉශ්‍රායෙල්වරු එක් රැස් ව, ඒලා මිටියාවතේ කඳවුරු බැඳ, පිලිස්තිවරුනට මුහුණ දීමට තම සේනා පෙළ ගැස්වූහ. දෙගොල්ල අතරේ මිටියාවත ඇති ව, පිලිස්තිවරු කන්දේ එක් පැත්තක සිටගත්හ. ඉශ්‍රායෙල්, කන්දේ අනෙක් පැත්තේ සිටගත්හ. ගොලියත් නම් වූ රණශූරයෙක් පිලිස්ති කඳවුරෙන් එළියට ආවේ ය. ගාත් වැසියකු වූ ඔහු උසින් හය රියනක් හා වියතකි. ඔහුගේ හිසේ ලෝකඩ ආරක්ෂක තොප්පියක් විය. ඔහු ෂෙකෙල් පන්දහසක් බර ලෝහ සන්නාහ කබායක් හැඳ සිටියේ ය. ඔහුගේ දෙකකුල්හි ලෝකඩ වැසුම් තිබිණ. ලෝකඩ හෙල්ලයක් ඔහුගේ උර මත එල්ලා තිබිණ. ඔහුගේ හෙල්ලයේ මිට, රෙදි වියන්නාගේ රිටකට සමාන ය. යකඩින් කළ එහි තලය, ෂෙකෙල් හයසීයක් බර ය. ඔහුගේ පලිහ දරන්නා ඔහුට පෙරටුව ගියේ ය. ඔහු නැගිට, ඉශ්‍රායෙල් සේනාංක පෙළට බැන-අඬ ගසමින්, “නුඹලා පිටතට අවුත්, සටනට පෙළ ගැසෙන්නේ මන්ද? මම පිලිස්තියෙක් නො වෙම් ද? නුඹලා සාවුල්ගේ සේවකයෝ නො වෙත් ද? නුඹලා අතරින් මිනිසකු තෝරා, මා හමුවට බැස එවනු. මා හා සටන් කොට, මා මරා දමන්නට ඔහුට හැකි වෙතොත්, අප නුඹලාගේ යටත් වැසියන් වනු ඇත. එහෙත් මා ඔහුගෙන් ජය ගෙන, ඔහු මරා දැමුවහොත් නුඹලා අපගේ යටත් වැසියන් වී, අපට මෙහෙ කළ යුතු වේ යැ” යි කීවේ ය. එම පිලිස්තීයයා යළි කතා කරමින්, “අද දවසේ ඉශ්‍රායෙල් සේනාංක පෙළට මම අභියෝග කරමි. මට මිනිසකු දෙනු! අපට සටන් කරන්නට සලසනු” යි වහසි බස් දෙඩී ය. පිලිස්තීයයාගේ වචන ඇසීමෙන්, සාවුල් ද සියලු ඉශ්‍රායෙල්වරු ද තැති ගෙන, මහත් සේ භය වූහ. දාවිත්, යූදාහි බෙත්ලෙහෙමේ යෙස්සේ නැමති එෆ්‍රාතියයකුගේ පුත්‍රයා ය. යෙස්සේට පුතුන් අ‍ට දෙනෙක් වූහ. සාවුල්ගේ දවස්හි යෙස්සේ මහලු ව, වියපත් ව සිටියේ ය. යෙස්සේගේ වැඩිමහල් පුතුන් තිදෙනා සාවුල් අනුව යමින්, යුද්ධයට ගොස් තිබිණ. කුලුඳුලාගේ නම එලියාබ් ය. දෙවැන්නා අබිනාදාබ් ය. තෙවැන්නා ෂම්මා ය. දාවිත් බාලයා විය. වැඩිමහල් ම තිදෙන සාවුල් අනුව ගියහ. එහෙත් දාවිත්, බෙත්ලෙහෙමේ තම පියාගේ බැටළුවන් බලා ගන්න පිණිස, සාවුල් වෙතින් ආවේ ය, ගියේ ය. පිලිස්තීයයා පුරා හතළිස් දවසක් උදයේත්, සවසත් ඉදිරියට අවුත්, ස්ථානගත ව අභියෝග කළේ ය. මේ අතර යෙස්සේ, තම පුත් දාවිත් අමතා, “මෙම විලඳ ඒෆාවත්, මෙම රොටි දහයත් ගෙන, ඉක්මනින් ඔබේ සහෝදරයින් වෙත ඔවුන්ගේ කඳවුරට යන්න. මෙම කේජු කෑලි දහය ඔවුන්ගේ ඒකකයේ අණ දෙන නිලධාරියාට ගෙන යන්න. ඔබගේ සහෝදරයින්ට කෙසේදැයි බලා, ඔවුන් යහතින්දැයි දැනගෙන, එන්නැ” යි කීවේ ය. ඔවුහු සාවුල් හා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඒලා මිටියාවතේ පිලිස්තිවරුන්ට එරෙහිව සටන් කළහ. අරුණ උදෙන් ම පිබිදි දාවිත්, බැටළුවන් සමඟ එඬේරකු නවතා, යෙස්සේ ඔහුට අණ කර තිබූ පරිදි, ඒ, ඒ දෑ ගෙන, පිටත් විය. ඔහු කඳවුරට ළඟා වෙද්දී, සේනාව රණ-ගොස නගමින්, සටනට සැරසී, පිටතට එමින් සිටියහ. ඉශ්‍රායෙල්වරු හා පිලිස්තිවරු හමුදාවකට එරෙහිව හමුදාවක් වශයෙන් සටනට පෙළ ගැසෙමින් සිටියහ. තමා ගෙනා දෑ ගබඩාකරු ළඟ තැබූ දාවිත්, සේනාංක පෙළ වෙත දුව ගොස්, තම සහෝදරයින්ට සුබ පැතී ය. ඔහු ඔවුන් හා කතා කරමින් සිටියදී, මෙන්න! ගාත්හි ගොලියත් නම් වූ පිලිස්තීය රණශූරයා තම සේනාංකයෙන් පෙරට අවුත්, සුපුරුදු අභියෝග වචන පවසමින්! දාවිත්ට එය ඇසිණි. ඉශ්‍රායෙල් සියල්ලෝ ඒ මිනිසා දුටු කල, මහත් භයින්, ඔහු වෙතින් පැන දිවූහ. ඉශ්‍රායෙල් මිනිස්සු මෙසේ කියන්නට වන්හ. “පෙරට එන අර මිනිහා දුටුවා ද? ඉශ්‍රායෙල්වරුන්ට තර්ජනය කරන්නටයි ඔහු එන්නේ. ඔහු මරා දමන තැනැත්තාට රජතුමා ධන සම්භාරයක් දී, තම දියණිය ඔහුට විවාහ කර දෙනු ඇත. ඔහුගේ පියාගේ පවුල ඉශ්‍රායෙල්හි නිදහස් කරනු ඇතැ” යි පැවසූහ. තමා අසල සිටි මිනිසුන් ඇමතූ දාවිත්, “මේ පිලිස්තීයයා මරා, ඉශ්‍රායෙල් වෙතින් මේ නිගරුව පහ කරන මිනිසාට කුමක් කෙරේ ද? ජීවමාන දෙවියන්වහන්සේගේ හමුදාවන්ට අභියෝග කරන්නට තරම් මේ චර්ම-අඡේදිත පිලිස්තීයයා කවරෙක් දැ?” යි විමසී ය. ජනයා පිළිතුරු දෙමින්, “ඔහු මරා දමන මිනිසාට මෙසේ කරනු ලැබේ ය” කියමින් කලින් පැවසූ වචන යළි පැවසූහ. මිනිසුන් සමඟ ඔහු කළ කතා, ඔහුගේ වැඩිමල් සහෝදර එලියාබ්ට ඇසිණි. එවිට දාවිත්ට එරෙහිව එලියාබ්ගේ කෝපය ඇවිළිණි. “කුමට ද නුඹ මෙහි ආවේ? ඒ බැටළුවන් ටික පාළුකරයේ අත්හැර ආවේ කවුරුන් බාරයේ ද? නුඹ කෙතරම් උඩඟු ද කියාත්, නුඹේ හදවත කොතරම් දුෂ්ට ද කියාත් මා දන්නවා. නුඹ ඇවිත් තියෙන්නේ යුද්ධය බලන්නට යැ” යි ඔහු කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “දැන් මා මොනවද කළේ? කතා කරන්නවත් මට අවසර නැති දැ?” යි ඇසී ය. ඉන්පසු ඉවත හැරුණු ඔහු වෙනකකු අමතමින්, පළමු ප්‍රශ්නය ම නැගී ය. පළමුවර පරිදි ම මිනිස්සු ඔහුට පිළිතුරු දුන්හ. දාවිත් පැවසූ වචන ඇසූ අය, සාවුල් ඉදිරියේ ඒවා යළි පැවසූහ. රජු ඔහු කැඳවා යැවී ය. එවිට දාවිත්, සාවුල් අමතමින්, “මේ පිලිස්තීයයා නිසා කිසිවකුත් අධෛර්ය විය යුතු නැහැ. ඔබේ සේවක මා ගොස්, ඔහු සමඟ සටන් කරන්නම්” යයි කීවේ ය. සාවුල්, දාවිත්ට පිළිතුරු දෙමින්, “ඒ පිලිස්තීයයාට විරුද්ධ ව ගොස්, ඔහු හා සටන් කරන්නට ඔබට නුපුළුවන. ඔබ තවමත් ගැටවරයෙකි. ඔහු තරුණ වයසේ පටන් ම සටන් කරුවෙකි” යි කීවේ ය. එහෙත් දාවිත්, සාවුල් අමතමින්, “ඔබේ මේ සේවකයා ඔහුගේ පියාගේ බැටළුවන් රැකබලමින් සිටියදී, සිංහයකු හෝ වලසකු හෝ අවුත්, රංචුවේ බැටළු පැටවකු ඩැහැගත් විටෙක, මා ඌ පසු පස්සේ ගොස්, ඌට පහර දී, උගේ කටින් බැටළුවා මුදා ගත්තා. ඌ මට එරෙහිව නැගිටුණු විට, මා උගේ රැවුලින් අල්ලා, ඌට පහර දී, මරා දැම්මා. ඔබේ සේවකයා සිංහයින් හා වලසුන් යන දෙගොල්ල මරා දැම්මා. මේ චර්ම-අඡේදිත පිලිස්තීයයාත් උන්ගෙන් එකකු මෙන් වනු ඇත. මන්ද ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවන්ට ඔහු කළේ නිග්‍රහයක්. සිංහයාගේ නියපහරින් හා වලසාගේ නියපහරින් මා මිදූ ස්වාමින්වහන්සේ මේ පිලිස්තීයයාගේ අතින් ද මා මුදා ගන්නා සේකැ” යි කීවේ ය. එවිට සාවුල්, “යන්න, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා” යි දාවිත්ට පැවසී ය. ඉන්පසු සාවුල් තම යුද-කබාය දාවිත්ට හඳවා, ඔහුගේ හිස මත ලෝකඩ ආරක්ෂක තොප්පියක් තබා, ඔහු සන්නාහ සන්නද්ධ කළේ ය. දාවිත් ඔහුගේ කඩුව යුද කබායේ බැඳ, ඇවිදින්නට උත්සාහ ගත්ත ද, ඒවා ඔහුට නුහුරු නුපුරුදු බැවින් එසේ කළ නො හැකි විය. එබැවින් දාවිත්, සාවුල්ට කතා කොට, “මට හුරු නැති නිසා මේවා ඇඳගෙන ගිය නො හැකි යැ” යි කීවේ ය. මෙසේ දාවිත් ඒවා ගලවා දැමී ය. ඉන්පසු ඔහු තම කෙවිට තම අතින් ගෙන, සුමුදු ගල් කැට පහක් දිය පහර වෙතින් අහුලා, ඒවා තම එඬේර මලු පසුම්බියේ ලා ගත්තේ ය. තම ගල්-පටිය තම අතින් ගත් ඔහු පිලිස්තීයයා දෙසට ළඟා විය. පිලිස්තීයයා දාවිත්ට ළං වෙමින් සිටියේ ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය. දාවිත් දෙස විපරමින් බැලූ පිලිස්තීයයා, රත් පැහැයෙන් හා කඩවසමින් යුත් දාවිත් තවමත් කොලුවකු වග දැක, ඔහු සුළු කරමින්, දාවිත් අමතා, “නුඹ කෙවිට ගෙන මා දෙසට එන්නේ මා බල්ලෙක් දැ?” යි ඇසී ය. ඉන්පසු පිලිස්තීයයා තම දෙවිවරුන්ගේ නමින් දාවිත්ට ශාප කළේ ය. යළි දාවිත් ඇමතූ පිලිස්තීයයා, “මෙහි එනු! මා නුඹේ මස් අහසේ පක්ෂීන්ටත්, බැද්දේ වන සතුන්ටත් දෙනවා!” යි පාරම්බෑවේ ය. එවිට දාවිත්, පිලිස්තීයයා අමතමින්, “නුඹ කඩු, හෙල්ල, තෝමර දරා, මට එරෙහිව ආවත්, මා නුඹට එරෙහිව එන්නේ, නුඹ විසින් නිග්‍රහ කළ සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන්; ඉශ්‍රායෙල් හමුදාවල දෙවියන්වහන්සේගේ නාමයෙන්. ස්වාමින්වහන්සේ අද දවසේ මගේ අතට නුඹ යටත් කර දෙන සේක. මම නුඹ ගසා හෙළා, නුඹේ හිස ගසා දමනවා; අද දවසේ මා පිලිස්ති හමුදාවල මළ කඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ වන-මෘගයින්ටත් දෙනවා. ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකුන් වැඩ වසන වග එවිට මුළු ලෝකය ම දැන ගනීවි. ස්වාමින්වහන්සේ ගලවන්නේ කඩුවෙන් හෝ හෙල්ලයෙන් නො වන වග මෙහි රැස් ව සිටින සැවොම එවිට දැනගන්නවා ඇති. මන්ද සටන ස්වාමින්වහන්සේගේයි. උන්වහන්සේ අපේ අත්වලට නුඹලා දෙනු ඇතැ” යි පැවසී ය. පිලිස්තීයයා නැගිට අවුත්, දාවිත් හමුවට ළං වන කල, දාවිත් පිලිස්තීයයා හමුවට හනි හනිකට සටන් පෙරමුණ ට දිව්වේ ය. දාවිත් තම අත තම මල්ල තුළට දමා ගල් කැටයක් ගෙන, විද්දේ පිලිස්තීයයාගේ නළලට වදින්නට ය. ගල ඔහුගේ නළල පසාරු කර ගෙන ගියේ ය. ඔහු තම මුහුණ බිම වැදෙන්නට ඇද වැටුණේ ය. මෙසේ දාවිත් ගල් පටියෙන් හා ගලකින් පිලිස්තීයයාගෙන් ජය ගත්තේ ය. ඔහු පිලිස්තීයයා ගසා හෙළා, මරා දැම්මේ ය. දාවිත්ගේ අතේ කඩුවක් නො වී ය. දාවිත් දුව ගොස්, පිලිස්තීයයා පිට සිටගෙන, ඔහුගේ කඩුව කොපුවෙන් ඇද, ඔහු මරා, එයින් ම ඔහුගේ හිස වෙන් කර දැමී ය. තමන්ගේ රණශූරයා මැරුණු වග දුටු පිලිස්තිවරු පලා දුවන්නට වන්හ.