සාමුවෙල්, සාවුල්ට කතා කොට, “ස්වකීය ඉශ්රායෙල් ජනතාවගේ රජු වශයෙන් ඔබ ආලේප කරන පිණිස, ස්වාමින්වහන්සේ මා එවනු ලැබී ය. එබැවින් දැන් ස්වාමින්වහන්සේගේ වචනවලට සවන් දෙන්න. සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්රායෙල්වරුන් ඊජිප්තුවේ සිට එන කල, ඔවුන්ගේ මග අවුරමින්, අමලෙක්, ඉශ්රායෙල්වරුන්ට කළ දේ නිසා, ඔවුන්ට මම දඬුවම් කරමි. දැන් ගොස්, අමලෙක්ට පහර දී, ඔවුනට අයිති හැම දේ සහමුලින් විනාශ කර දමන්න. ඔවුන් ඉතිරි නො කරන්න. පුරුෂයින් හා ස්ත්රීන් ද ළමයින් හා ළපටින් ද ගව හා බැටළුවන් ද ඔටුවන් හා බූරුවන් ද මරා දමන්නැ’ යි” පැවසී ය.
එබැවින් සාවුල් මිනිසුන් කැඳවා, ටෙලායිම්හි දී ඔවුන් ගණන් කළේ ය. පාබළ සෙබළු දෙලක්ෂයක් ද යූදා මිනිස්සු දස දහසක් ද එහි වූහ. සාවුල්, අමලෙක්වරුන්ගේ පුරයට ගොස්, ගිරිකඳුරෙහි සැඟවී, බලා සිටියේ ය. සාවුල් කේනීයවරුන්ට කතා කොට, “අමලෙක්වරුන් වෙතින් ඉවත් ව යන්න. මා විසින් ඔවුන් සමඟ ඔබ ද විනාශ කර නො දමන පිණිස අහක් ව යන්න. මන්ද ඉශ්රායෙල්වරුන් ඊජිප්තුවේ සිට එද්දී ඔබ ඔවුන්ට කරුණාව පෙන්නුවා” යි කීවේ ය. එබැවින් කේනිවරු, අමලෙක්වරුන් වෙතින් ඉවත් ව ගියහ.
ඉන්පසු සාවුල් හවීලා පටන් ඊජිප්තුවට නැගෙනහිරින් වූ ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේ ය. ඔහු අමලෙක්වරුන්ගේ රජු වූ අගග් පණ පිටින් අල්ලාගෙන, සෙසු සියලු ජනයා මුළුමනින් කඩු මුවහතින් වනසා දැම්මේ ය. එහෙත් සාවුල් හා හමුදාව, අගග් ද ඉතා හොඳ බැටළුවන්, ගවයින්, තර වස්සන් හා බැටළු පැටවුන් ද ප්රයෝජනවත් හැම දෙයක් ද ඉතිරි කර ගත්හ. ඒවා සහමුලින් ම විනාශ කර දැම්මේ නැත. එහෙත් පලක් නැති නො වටිනා හැම දෑ ඔවුහු විනාශයට කැප කළහ.
එවිට ස්වාමින්වහන්සේගේ වචනය සාමුවෙල් වෙත පැමිණියේ ය. “සාවුල් රජකමට පත් කිරීම ගැන මම තැවෙමි. මන්ද ඔහු මා අනුගමන කිරීමෙන් ඉවත හැරී ඇත. මගේ ආඥා ඔහු පිළිපැද නැතැ” යි කී සේක. සාමුවෙල් සංවේගයට පත් විය. මුළු රැය පුරා ඔහු ස්වාමින්වහන්සේට හඬ ගෑවේ ය.
සාමුවෙල් අලුයම් උදෙන් පිබිද, සාවුල් හමු වන්නට ගියේ ය. එහෙත්, “සාවුල්, කර්මෙල් නුවර වෙත අවුත්, තමා උදෙසා ස්මාරකයක් එහි පිහිටුවා, ආපසු හැරී, ගිල්ගාල් වෙත ගියේ යැ” යි දන්වන ලද්දේ ය.
සාමුවෙල්, සාවුල් වෙත පැමිණි කල, සාවුල් ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා! ස්වාමින්වහන්සේගේ අණ මා පිළිපැද්දා” යි කීවේ ය.
එවිට සාමුවෙල් පිළිතුරු දෙමින්, “එසේ නම්, මගේ කන වැකෙන බැටළුවන්ගේ මේ බෑ-බෑ නාදයත්, මගේ කනට ඇසෙන ගවයින්ගේ තප්පුලෑමත් කිමෙක් දැ?” යි ඇසී ය.
සාවුල් පිළිතුරු දෙමින්, “ජනයා උන් ගෙන ආවේ, අමලෙක්වරුන් වෙතින්. බැටළුවන්ගෙන් හා ගවයන්ගෙන් හොඳ ම උන් ඔවුන් ඉතිරි කර ගත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පූජා කරන පිණිසයි. එසේ වුවත්, සෙසු දෑ සහමුලින් ම අප විනාශ කළා” යි පැවසී ය.
“නවත්වන්නැ” යි පැවසූ සාමුවෙල්, සාවුල් අමතමින්, “මේ රැයේ ස්වාමින්වහන්සේ මට කී දෑ ඔබට කියන්නම්” කීවේ ය.
“කියන්නැ” යි සාවුල් පැවසී ය.
“කලක් ඔබේ ම ඇස් හමුවේ ඔබ සුළු කෙනකු වුවත්, ඉශ්රායෙල් ගෝත්ර වංශ කෙරෙහි නායකත්වයට ඔබ පත් වූවා නො වේ ද? ස්වාමින්වහන්සේ ඉශ්රායෙල්හි රජකමට ඔබ ආලේප කළ සේක. ස්වාමින්වහන්සේ මෙහෙවරක ඔබ යැවූ සේක්, ‘යන්න, ඒ දුෂ්ට ජනතාව වන අමලෙක්වරුන් විනාශ කරන්න. ඔවුන් මුළුමනින් නැති කර දමන තුරු ඔවුනට එරෙහිව යුද්ධ කරන්නැ’ යි කී සේක. ස්වාමින්වහන්සේගේ කටහඬට එහෙනම් ඔබ කීකරු නො වූයේ මන්ද? කොල්ලය පිට කඩා පැන, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුර කළේ මන්දැ?” යි ඇසී ය.
සාවුල්, සාමුවෙල්ට පිළිතුරු දෙමින්, “එනමුත් මා ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු වුණා. ස්වාමින්වහන්සේ මට පැවරූ මෙහෙවරෙහි මා යෙදුණා. මා අමලෙක් රජු වූ අගග් රැගෙන ආවා. අමලෙක්වරුන් සහමුලින් විනාශයට කැප කළා. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගිල්ගාල්හි දී පූජා කරනු සඳහා ජනයා විනාශයට කැප කොල්ලයේ සතුන් අතරින් හොඳ ම බැටළුවන් හා ගවයින් ගත්තා” යි කීවේ ය.
එහෙත් සාමුවෙල් පිළිතුරු දෙමින්,
“ස්වාමින්වහන්සේගේ කටහඬට අවනත වීම තරම්
දවන යාග හා යාග පූජාවලට ස්වාමින්වහන්සේ ප්රසන්න ද?
බලන්න! කීකරුවීම පූජාවට වඩා අගනේ ය.
සවන් දීම බැටළු මේදයට වඩා අගනේ ය.