1 සාමුවෙල් 15:1-11

1 සාමුවෙල් 15:1-11 SCV

සාමුවෙල්, සාවුල්ට කතා කොට, “ස්වකීය ඉශ්‍රායෙල් ජනතාවගේ රජු වශයෙන් ඔබ ආලේප කරන පිණිස, ස්වාමින්වහන්සේ මා එවනු ලැබී ය. එබැවින් දැන් ස්වාමින්වහන්සේගේ වචනවලට සවන් දෙන්න. සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට එන කල, ඔවුන්ගේ මග අවුරමින්, අමලෙක්, ඉශ්‍රායෙල්වරුන්ට කළ දේ නිසා, ඔවුන්ට මම දඬුවම් කරමි. දැන් ගොස්, අමලෙක්ට පහර දී, ඔවුනට අයිති හැම දේ සහමුලින් විනාශ කර දමන්න. ඔවුන් ඉතිරි නො කරන්න. පුරුෂයින් හා ස්ත්‍රීන් ද ළමයින් හා ළපටින් ද ගව හා බැටළුවන් ද ඔටුවන් හා බූරුවන් ද මරා දමන්නැ’ යි” පැවසී ය. එබැවින් සාවුල් මිනිසුන් කැඳවා, ටෙලායිම්හි දී ඔවුන් ගණන් කළේ ය. පාබළ සෙබළු දෙලක්ෂයක් ද යූදා මිනිස්සු දස දහසක් ද එහි වූහ. සාවුල්, අමලෙක්වරුන්ගේ පුරයට ගොස්, ගිරිකඳුරෙහි සැඟවී, බලා සිටියේ ය. සාවුල් කේනීයවරුන්ට කතා කොට, “අමලෙක්වරුන් වෙතින් ඉවත් ව යන්න. මා විසින් ඔවුන් සමඟ ඔබ ද විනාශ කර නො දමන පිණිස අහක් ව යන්න. මන්ද ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට එද්දී ඔබ ඔවුන්ට කරුණාව පෙන්නුවා” යි කීවේ ය. එබැවින් කේනිවරු, අමලෙක්වරුන් වෙතින් ඉවත් ව ගියහ. ඉන්පසු සාවුල් හවීලා පටන් ඊජිප්තුවට නැගෙනහිරින් වූ ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේ ය. ඔහු අමලෙක්වරුන්ගේ රජු වූ අගග් පණ පිටින් අල්ලාගෙන, සෙසු සියලු ජනයා මුළුමනින් කඩු මුවහතින් වනසා දැම්මේ ය. එහෙත් සාවුල් හා හමුදාව, අගග් ද ඉතා හොඳ බැටළුවන්, ගවයින්, තර වස්සන් හා බැටළු පැටවුන් ද ප්‍රයෝජනවත් හැම දෙයක් ද ඉතිරි කර ගත්හ. ඒවා සහමුලින් ම විනාශ කර දැම්මේ නැත. එහෙත් පලක් නැති නො වටිනා හැම දෑ ඔවුහු විනාශයට කැප කළහ. එවිට ස්වාමින්වහන්සේගේ වචනය සාමුවෙල් වෙත පැමිණියේ ය. “සාවුල් රජකමට පත් කිරීම ගැන මම තැවෙමි. මන්ද ඔහු මා අනුගමන කිරීමෙන් ඉවත හැරී ඇත. මගේ ආඥා ඔහු පිළිපැද නැතැ” යි කී සේක. සාමුවෙල් සංවේගයට පත් විය. මුළු රැය පුරා ඔහු ස්වාමින්වහන්සේට හඬ ගෑවේ ය.