1 සාමුවෙල් 14:36-48
1 සාමුවෙල් 14:36-48 SCV
ඉන්පසු සාවුල්, “රැයේ, අපි පිලිස්තිවරුන් පසු පස එලවා ගොස්, එළිවන තුරු ඔවුන් කොල්ල කමු. උන් එකකුවත් ඉතිරි නො කරමු” යි කීවේ ය. “වඩා හොඳයයි ඔබට පෙනෙන දේ කරන්නැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එහෙත් පූජකයා කතා කොට, “අපි මෙහිදී දෙවියන්වහන්සේ වෙත ළඟා වෙමු” යි කීවේ ය. එනිසා සාවුල් දෙවියන්වහන්සේගෙන් විමසමින්, “පිලිස්තිවරුන් පසු පස මා එලවා යන්න ද? ඔබ ඔවුන් ඉශ්රායෙල්වරුන් අතට හසුකර දෙනවා දැ?” යි ඇසී ය. එහෙත් උන්වහන්සේ එදින ඔහුට උත්තර නො දුන් සේක. එවිට සාවුල්, “ජනතාවගේ නායකයිනි, මෙහි එනු. අද දවසේ කවර පාපයක් සිදු විණි දැයි සොයා බලමු. ඊට වගකිව යුත්තා මගේ පුත් යොනාතාන් වුවත්, ඉශ්රායෙල් ගලවන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඔහු මරණයට පත් විය යුතු යැ” යි කීවේ ය. එහෙත් මුළු මහත් ජනයා අතරේ වූ කිසිවකු ඔහුට වචනයකුදු කීවේ නැත. ඉන්පසු සාවුල් සියලු ඉශ්රායෙල්වරුන් අමතමින්, “ඔබ හැම ඒ පැත්තේ සිටගන්න. මාත්, මගේ පුත් යොනාතානුත් මේ පැත්තේ සිටගන්නවා” යි කීවේ ය. “වඩා හොඳයයි ඔබට පෙනෙන දේ කරන්නැ” යි ජනයා පැවසූහ. ඉන්පසු සාවුල් යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්ස, නිවැරදි දේ මට පෙන්වා දුන මැනව” යි ඉල්ලී ය. එවිට යොනාතාන් හා සාවුල් ගනු ලැබිණ. සෙසු ජනයා නිදොස් වූහ. එවිට සාවුල්, “මාත්, මා පුත් යොනාතානුත් අතර පස ඇටය දමන්නැ” යි කීවේ ය. එවිට යොනාතාන් ගනු ලැබිණ. එවිට සාවුල් යොනාතාන් අමතමින්, “මට කියන්න, කුමක් ද ඔබ කළේ” යි කීවේ ය. යොනාතාන් පිළිතුරු දෙමින්, “මා අතේ වූ සැරයටිය අගින් මම මී පැණි ටිකක් දිව ගෑවා. මෙන්න මම. මම මැරෙන්නම්” යි කීවේ ය. “යොනාතාන්, දෙවියන්වහන්සේ මටත් එසේ කරන සේක්, ඊටත් වැඩියෙන් කරන සේක්වා. සැබවින් ම ඔබ මැරෙන්න ඕනෑ” යි සාවුල් කී ය. එවිට ජනයා සාවුල් අමතමින්, “ඉශ්රායෙල්හි මේ මහත් මිදීම සැලසූ යොනාතාන් මිය යා යුතු ද? කොහෙත් ම නැත! ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මොහුගේ හිසකේ ගසක්වත් බිම නො වැටිය යුතුයි. මන්ද අද ඔහු එසේ කළේ, දෙවියන්වහන්සේගේ උපකාරයෙනි” යි කීහ. මෙසේ ජනයා යොනාතාන් ගලවා ගත්තෙන්, ඔහු මරණයට පත් නො කෙරිණි. ඉන්පසු සාවුල්, පිලිස්තිවරුන් ලුහුබැඳීම නවතා දැමී ය. පිලිස්තිවරු තම දේශයට ආපසු ගියහ. සාවුල්, ඉශ්රායෙල්හි පාලනය බාර ගත් පසු, හැම පැත්තෙන් ම වූ තම සතුරන් සියල්ලන්ට එරෙහිව සටන් කළේ ය. මෝවබ්ට, අම්මොන්වරුනට, ඒදොම්ට, සෝබාහි රජුන්ට හා පිලිස්තිවරුන්ට එරෙහිව සටන් කොට, ගිය ඒ කොතැනට වුව ඔහු ඔවුන් පැරදවී ය. කොල්ලකෑවුන් අතින් ඉශ්රායෙල්වරුන් මුදා ගනිමින්, ඔහු වික්රමාන්විත ව සටන් කොට, අමලෙක්වරුන් පැරදවී ය.

