1 සාමුවෙල් 14:24-52

1 සාමුවෙල් 14:24-52 SCV

ඒ අතර, ඒ දවසේ ඉශ්‍රායෙල් මිනිසුන් සිටියේ මහත් අපහසුතාවකිනි. හේතුව වූයේ, “සවස් වන්නට පෙර, මගේ සතුරන්ගෙන් මා පළිගන්නට පෙර, යම් කෑමක් කන ඕනෑ ම කෙනකුට ශාප වේවා!” යි සාවුල් ජනතාව දිවුරුමකින් බඳවා තිබීම ය. ඒ හේතුවෙන් ඒ කිසි කෙනකු අහරක රස බැලුවේ නැත. මුළු හමුදාව ම කැලයට ඇතුළු වූහ. එවිට මෙන්න! එහි පොළෝ මත මී පැණි! කැලයට ඇතුළු වෙද්දී මී පැණි වෑස්සෙනු ඔවුන් දුටු නමුදු, කිසිවකු තම අත, මුවට ළං කළේ නැත. මන්ද ඔවුන් දිවුරුමට භය වූ හෙයිනි. එහෙත්, තම පියා දිවුරුමකින් ජනයා බැඳගෙන තිබූ වග යොනාතාන් දැන සිටියේ නැත. එබැවින්, ඔහු තම අතෙහි වූ සැරයටිය දිගු කොට, එහි කෙළවර මී-වදයේ ඔබා, තම අත, මුවෙහි තැබී ය. එවිට ඔහුගේ ඇස් දීප්තිමත් විය. එවිට සෙබළුන්ගෙන් කෙනෙක් ඔහු අමතා, “ඔබගේ පියා, ‘අද දවසේ අහර බුදින කවරකුට වුව ශාප වේවා’ කියමින් තදබල දිවුරුමකින් හමුදාව බඳවා ගත්තා. මිනිසුන් ක්ලාන්ත ව සිටින්නේ එනිසා යැ” යි කීවේ ය. යොනාතාන් පිළිතුරු දෙමින්, “මගේ පියා දේශයට කර ඇත්තේ හිරිහැරයක්; බලන්න; මේ මී පැණි ටිකක් දිව ගෑ හැටියේ මගේ ඇස් දීප්තිමත් වූ හැටි! තම සතුරන්ගෙන් මිනිසුන් කොල්ල කෑ දේ අද ඔවුන්ට කන්නට ලැබුණා නම් කොපමණ අගේ ද! එසේ වී නම් පිලිස්තිවරුන් ඝාතනය මීට වඩා මහත් විය නොහැක්කේ දැ?” යි පැවසී ය. ඒ දවසේ ඉශ්‍රායෙල්වරු, මික්මාස් පටන් අයියාලොන් දක්වා පිලිස්තිවරුන්ට පහර දුන් පසු, ඔවුන් සිටියේ විඩාපත් ව ය. ඔවුහු කොල්ලය පිට කඩා පැන, බැටළුවන්, ගවයින් හා වහු පැටවුන් අල්ලාගෙන බිම පෙරළා මරා, ලේ පිටින් ම උන් කා දැමූහ. එවිට යමෙක් සාවුල්ට කතා කොට, “අන්න, ලේ සමඟ මස් කෑමෙන්, මිනිස්සු ස්වාමින්වහන්සේට එරෙහිව පව් කරති” යි කීහ. එවිට, “ඔබ ක්‍රියා කොට ඇත්තේ ද්‍රෝහි ලෙස යැ” යි කී සාවුල්, “වහාම මෙතැනට විශාල ගලක් පෙරළාගෙන එන්නැ” යි පැවසී ය. ඔහු යළි කතා කරමින්, “ජනයා අතරට ගොස්, මෙසේ කියන්න: ‘ඔබ එකිනෙකා තම තමාගේ ගවයා හෝ බැටළුවා හෝ මා වෙත ගෙනැවිත්, මෙහිදී උන් මරා කන්න. ලේ සමඟ මස් කෑමෙන් ස්වාමින්වහන්සේට එරෙහිව පව් නො කරල්ලා’ යි” පැවසී ය. එබැවින් ඒ රැයේ, තම තමාගේ ගවයින් එහි ගෙන ආ මිනිස්සු එහිදී උන් මැරූහ. ඉන්පසු සාවුල් ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නැගී ය. ඔහු ස්වාමින්වහන්සේට ගොඩ නැගූ පළමු පූජාසනය එයයි. ඉන්පසු සාවුල්, “රැයේ, අපි පිලිස්තිවරුන් පසු පස එලවා ගොස්, එළිවන තුරු ඔවුන් කොල්ල කමු. උන් එකකුවත් ඉතිරි නො කරමු” යි කීවේ ය. “වඩා හොඳයයි ඔබට පෙනෙන දේ කරන්නැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එහෙත් පූජකයා කතා කොට, “අපි මෙහිදී දෙවියන්වහන්සේ වෙත ළඟා වෙමු” යි කීවේ ය. එනිසා සාවුල් දෙවියන්වහන්සේගෙන් විමසමින්, “පිලිස්තිවරුන් පසු පස මා එලවා යන්න ද? ඔබ ඔවුන් ඉශ්‍රායෙල්වරුන් අතට හසුකර දෙනවා දැ?” යි ඇසී ය. එහෙත් උන්වහන්සේ එදින ඔහුට උත්තර නො දුන් සේක. එවිට සාවුල්, “ජනතාවගේ නායකයිනි, මෙහි එනු. අද දවසේ කවර පාපයක් සිදු විණි දැයි සොයා බලමු. ඊට වගකිව යුත්තා මගේ පුත් යොනාතාන් වුවත්, ඉශ්‍රායෙල් ගලවන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඔහු මරණයට පත් විය යුතු යැ” යි කීවේ ය. එහෙත් මුළු මහත් ජනයා අතරේ වූ කිසිවකු ඔහුට වචනයකුදු කීවේ නැත. ඉන්පසු සාවුල් සියලු ඉශ්‍රායෙල්වරුන් අමතමින්, “ඔබ හැම ඒ පැත්තේ සිටගන්න. මාත්, මගේ පුත් යොනාතානුත් මේ පැත්තේ සිටගන්නවා” යි කීවේ ය. “වඩා හොඳයයි ඔබට පෙනෙන දේ කරන්නැ” යි ජනයා පැවසූහ. ඉන්පසු සාවුල් යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, නිවැරදි දේ මට පෙන්වා දුන මැනව” යි ඉල්ලී ය. එවිට යොනාතාන් හා සාවුල් ගනු ලැබිණ. සෙසු ජනයා නිදොස් වූහ. එවිට සාවුල්, “මාත්, මා පුත් යොනාතානුත් අතර පස ඇටය දමන්නැ” යි කීවේ ය. එවිට යොනාතාන් ගනු ලැබිණ. එවිට සාවුල් යොනාතාන් අමතමින්, “මට කියන්න, කුමක් ද ඔබ කළේ” යි කීවේ ය. යොනාතාන් පිළිතුරු දෙමින්, “මා අතේ වූ සැරයටිය අගින් මම මී පැණි ටිකක් දිව ගෑවා. මෙන්න මම. මම මැරෙන්නම්” යි කීවේ ය. “යොනාතාන්, දෙවියන්වහන්සේ මටත් එසේ කරන සේක්, ඊටත් වැඩියෙන් කරන සේක්වා. සැබවින් ම ඔබ මැරෙන්න ඕනෑ” යි සාවුල් කී ය. එවිට ජනයා සාවුල් අමතමින්, “ඉශ්‍රායෙල්හි මේ මහත් මිදීම සැලසූ යොනාතාන් මිය යා යුතු ද? කොහෙත් ම නැත! ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මොහුගේ හිසකේ ගසක්වත් බිම නො වැටිය යුතුයි. මන්ද අද ඔහු එසේ කළේ, දෙවියන්වහන්සේගේ උපකාරයෙනි” යි කීහ. මෙසේ ජනයා යොනාතාන් ගලවා ගත්තෙන්, ඔහු මරණයට පත් නො කෙරිණි. ඉන්පසු සාවුල්, පිලිස්තිවරුන් ලුහුබැඳීම නවතා දැමී ය. පිලිස්තිවරු තම දේශයට ආපසු ගියහ. සාවුල්, ඉශ්‍රායෙල්හි පාලනය බාර ගත් පසු, හැම පැත්තෙන් ම වූ තම සතුරන් සියල්ලන්ට එරෙහිව සටන් කළේ ය. මෝවබ්ට, අම්මොන්වරුනට, ඒදොම්ට, සෝබාහි රජුන්ට හා පිලිස්තිවරුන්ට එරෙහිව සටන් කොට, ගිය ඒ කොතැනට වුව ඔහු ඔවුන් පැරදවී ය. කොල්ලකෑවුන් අතින් ඉශ්‍රායෙල්වරුන් මුදා ගනිමින්, ඔහු වික්‍රමාන්විත ව සටන් කොට, අමලෙක්වරුන් පැරදවී ය. සාවුල්ගේ පුත්තු නම් යොනාතාන්, ඉෂ්වී හා මල්කී-ෂුවා ය. ඔහුගේ කුලුඳුල් දියණියගේ නම මේරබ් ය. ඔහුගේ බාල දියණිය මීකල් ය. සාවුල්ගේ බිරිඳගේ නම අහිනොවම් ය. ඈ අහිමාස්ගේ දියණියයි. සාවුල්ගේ හමුදා නායකයාගේ නම අබ්නේර් ය. අබ්නේර්, නේර්ගේ පුත්‍රයා ය. නේර්, සාවුල්ගේ බාප්පා ය. සාවුල්ගේ පියා වූ කීෂ් හා අබ්නේර්ගේ පියා වූ නේර් යන දෙදෙනා අබියෙල්ගේ පුත්‍රයෝ ය. සාවුල්ගේ පාලන කාලය පුරා ම පිලිස්තිවරුන් සමඟ දරුණු සටන් පැවතිණි. හුරුවිරු-එඩිතර මිනිසකු දුටු හැම විටෙක ම සාවුල් තම සේවයට ඔහු බඳවා ගත්තේ ය.