1 සාමුවෙල් 14:15-23

1 සාමුවෙල් 14:15-23 SCV

කඳවුර තුළත්, එළිමහනෙත් සිටි මුළු හමුදාව අතරේ මහත් භීතියක් හට ගත්තේ ය. මුර-පොළවල හා ප්‍රහාරක කණ්ඩායම්වල සිටි අය වෙවුලූහ. පොළොව සලිත විණ. දෙවියන්වහන්සේ විසින් එවන ලද භීතියකි එය. බෙන්යමින් ගිබෙයාහි වූ සාවුල්ගේ නිරීක්ෂකයින් බැලූ කල, මෙන්න, සමූහයා ඒ මේ අත විසිර යනු දුටහ. එවිට සාවුල්, තමා සමඟ සිටියවුනට කතා කොට, “පෙරෙට්ටුව ගණන් ගෙන, අප වෙතින් ගොස් ඇත්තේ කවුරු ද කියා බලන්නැ” යි කීවේ ය. ඔවුහු එසේ කළ විට, එහි නො වූයේ යොනාතාන් හා ඔහුගේ අවි දරන්නා ය. එවිට සාවුල් අහියාට කතා කොට, “දෙවියන්වහන්සේගේ කරඬුව මෙහි ගෙනෙන්නැ” යි කීවේ ය. මන්ද දෙවියන්වහන්සේගේ කරඬුව එකල ඉශ්‍රායෙල් ජනයා සමඟ ම විය. පූජකයා සමඟ සාවුල් කතා කරන අතරේ පිලිස්ති කඳවුරේ ගාලගෝට්ටිය වඩ වඩා උත්සන්න විය. එබැවින් සාවුල්, “ඔබේ අත අහකට ගන්නැ” යි පූජකයාට කීවේ ය. ඉන්පසු සාවුල් හා ඔහු සමඟ සිටි සියල්ලෝ එක් රැස් වී සටනට බටහ. බලනු! පිලිස්තිවරුන් මහා වියවුලකින් යුතු ව තම කඩුවලින් එකිනෙකාට පහර දෙන්නට වන්හ. කලින් පිලිස්තිවරුන් සමඟ සිට, ඔවුන් හා පිලිස්ති කඳවුරට ගොස් සිටි හෙබ්‍රෙව්වෝ, සාවුල් හා යොනාතාන් සමඟ වූ ඉශ්‍රායෙල්වරුනට එකතු වීමට හැරුණහ. සැඟවෙන්නට එප්‍රායිම් කඳුරටට ගොස් සිටි සියලු ඉශ්‍රායෙල්වරු ද පිලිස්තිවරුන් පලා යමින් සිටි වග ඇසූ කල, සටනට එක් වී, සැරෙන් ඔවුන් ලුහුබැඳ ගියහ. මෙසේ ස්වාමින්වහන්සේ ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන් මිදූ සේක. බෙත්-ආවෙන් පුරය ද ඉක්මවා සටන පැතිරිණි.