දිනක් සාවුල්ගේ පුත් යොනාතාන්, තම අවි දරන තරුණයා අමතමින්, “එමු, අපි එහා පැත්තේ තියෙන පිලිස්ති මුරපොළ වෙත යමු” යි කීවේ ය. එහෙත් ඔහු ඒ වග තම පියාට කීවේ නැත.
සාවුල්, ගිබෙයා අවට පෙදෙසේ මිග්‍රෝන්හි දෙළුම් ගහක් යට සිටියේ ය. ඔහු සමඟ මිනිසුන් හයසියයක් පමණ වූහ. ඔවුන් අතරෙහි, ඒපොද් සැට්ටයක් හැඳි අහියා ද සිටියේ ය. ඔහු ෂීලෝහි ස්වාමින්වහන්සේගේ පූජකයා වූ ඒලීගේ පුත්‍ර, පීනෙහාස්ගේ පුත්‍රයා වූ අහිටූබ්ගේ සහෝදර ඊකාබොද්ගේ පුත්‍රයා ය. යොනාතාන් ගිය වග ඒ කිසිවකුත් දැන සිටියේ නැත.
පිලිස්තිවරුන්ගේ මුරපොළ වෙත ළඟා වීමට, යොනාතාන් තරණය කිරීමට උත්සාහ ගත් දුර්ගය දෙපස පර්වත කූට දෙකක් විය. එකක් බෝසෙස් නම් විය. අනෙක සෙන්නේ ය. එක් පර්වත කූටයක් මික්මාස් දෙසට උතුරට පිහිටා තිබිණි. අනෙක ගෙබා දෙසට දකුණට පිහිටා තිබිණි.
යොනාතාන් තම අවි දැරූ තරුණයා අමතා, “එමු, අපි අර චර්ම-අඡේදිතයන්ගේ මුරපොළ ළඟට ම යමු. ඇතැම් විට ස්වාමින්වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇති. බොහෝ දෙනකු මගින් හෝ ස්වල්ප දෙනකු මගින් ගැලවීම සලසන ස්වාමින්වහන්සේ වැළැක්වීමට කිසිවකටත් බැරි යැ” යි පැවසී ය.
ඔහුගේ අවි දරන්නා පිළිතුරු දෙමින්, “ඔබේ සිතේ ඇති සියල්ල කරන්න. හරි අපි යමු; මෙන්න; මුළු හදින් ම මුළු ජීවයෙන් ම මා ඔබ සමඟ යැ” යි කීවේ ය.
එවිට යොනාතාන්, “ඔන්න, එහෙනම් එන්න, අපි එගොඩ ව යමු ඒ මිනිසුන් දෙසට. ගොසින්, ඔවුනට පෙනෙන්නට සිටිමු. ඔවුන් අප අමතමින්, ‘නුඹලා ළඟට අප එන තුරු ඔතැන නැවතී සිටිනු’ කිවහොත්, අපි සිටිනා තැන නිසොල්මනේ ඔවුන් වෙත නැගී නො ගොස් සිටිමු. එහෙත් ඔවුන් අප අමතා, ‘අප වෙත නැගී එනු’ යි කිවහොත්, අපි උඩට නගිමු. මන්ද ස්වාමින්වහන්සේ අපේ අතට ඔවුන් යටත් කර දී ඇති බවට අපට ඇති ලකුණ එය යැයි” කීවේ ය.
මෙසේ ඔවුන් දෙදෙන පිලිස්ති මුර පොළට පෙනෙන්නට සිටියහ. එවිට පිලිස්තිවරු, “අන්න! ඔවුන් සැඟවී සිටි කුහරවලින් හෙබ්‍රෙව්වෝ පිටතට එති” යි කීහ. මුර පොළේ සිටි මිනිස්සු යොනාතාන්ටත්, ඔහුගේ අවි දරන්නාටත් හඬ ගාමින්, “අප වෙත නැගී වරෙල්ලා; අප නුඹලාට යමක් පෙන්වන්නට” යි කෑ ගැසූහ.
එවිට තම අවි දරන්නා ඇමතූ යොනාතාන්, “මා පස්සෙන් නැග එන්න. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් අතට ඔවුන් යටත් කර දී ඇතැ” යි කීවේ ය.
යොනාතාන් තම අත්-පා ආධාරයෙන් තම අවි දරන්නා පිටුපසින් ඇති ව, උඩට නැංගේ ය. යොනාතාන් ඉදිරියේ පිලිස්තිවරු පැරදී වැටුණහ. ඔහුගේ අවි දරන්නා ඔහු අනුව යමින්, ඔහු පිටුපස සිට ඔවුන් මැරී ය. එම පළමු ප්‍රහාරයේදී යොනාතාන් හා ඔහුගේ අවි දරන්නා අක්කර භාගයක පමණ බිම් කොටසක් තුළ විසිදෙනකු පමණ මරා දැමූහ.
කඳවුර තුළත්, එළිමහනෙත් සිටි මුළු හමුදාව අතරේ මහත් භීතියක් හට ගත්තේ ය. මුර-පොළවල හා ප්‍රහාරක කණ්ඩායම්වල සිටි අය වෙවුලූහ. පොළොව සලිත විණ. දෙවියන්වහන්සේ විසින් එවන ලද භීතියකි එය.
බෙන්යමින් ගිබෙයාහි වූ සාවුල්ගේ නිරීක්ෂකයින් බැලූ කල, මෙන්න, සමූහයා ඒ මේ අත විසිර යනු දුටහ. එවිට සාවුල්, තමා සමඟ සිටියවුනට කතා කොට, “පෙරෙට්ටුව ගණන් ගෙන, අප වෙතින් ගොස් ඇත්තේ කවුරු ද කියා බලන්නැ” යි කීවේ ය. ඔවුහු එසේ කළ විට, එහි නො වූයේ යොනාතාන් හා ඔහුගේ අවි දරන්නා ය.
එවිට සාවුල් අහියාට කතා කොට, “දෙවියන්වහන්සේගේ කරඬුව මෙහි ගෙනෙන්නැ” යි කීවේ ය. මන්ද දෙවියන්වහන්සේගේ කරඬුව එකල ඉශ්‍රායෙල් ජනයා සමඟ ම විය. පූජකයා සමඟ සාවුල් කතා කරන අතරේ පිලිස්ති කඳවුරේ ගාලගෝට්ටිය වඩ වඩා උත්සන්න විය. එබැවින් සාවුල්, “ඔබේ අත අහකට ගන්නැ” යි පූජකයාට කීවේ ය.
ඉන්පසු සාවුල් හා ඔහු සමඟ සිටි සියල්ලෝ එක් රැස් වී සටනට බටහ. බලනු! පිලිස්තිවරුන් මහා වියවුලකින් යුතු ව තම කඩුවලින් එකිනෙකාට පහර දෙන්නට වන්හ. කලින් පිලිස්තිවරුන් සමඟ සිට, ඔවුන් හා පිලිස්ති කඳවුරට ගොස් සිටි හෙබ්‍රෙව්වෝ, සාවුල් හා යොනාතාන් සමඟ වූ ඉශ්‍රායෙල්වරුනට එකතු වීමට හැරුණහ. සැඟවෙන්නට එප්‍රායිම් කඳුරටට ගොස් සිටි සියලු ඉශ්‍රායෙල්වරු ද පිලිස්තිවරුන් පලා යමින් සිටි වග ඇසූ කල, සටනට එක් වී, සැරෙන් ඔවුන් ලුහුබැඳ ගියහ. මෙසේ ස්වාමින්වහන්සේ ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන් මිදූ සේක. බෙත්-ආවෙන් පුරය ද ඉක්මවා සටන පැතිරිණි.
ඒ අතර, ඒ දවසේ ඉශ්‍රායෙල් මිනිසුන් සිටියේ මහත් අපහසුතාවකිනි. හේතුව වූයේ, “සවස් වන්නට පෙර, මගේ සතුරන්ගෙන් මා පළිගන්නට පෙර, යම් කෑමක් කන ඕනෑ ම කෙනකුට ශාප වේවා!” යි සාවුල් ජනතාව දිවුරුමකින් බඳවා තිබීම ය. ඒ හේතුවෙන් ඒ කිසි කෙනකු අහරක රස බැලුවේ නැත.
මුළු හමුදාව ම කැලයට ඇතුළු වූහ. එවිට මෙන්න! එහි පොළෝ මත මී පැණි! කැලයට ඇතුළු වෙද්දී මී පැණි වෑස්සෙනු ඔවුන් දුටු නමුදු, කිසිවකු තම අත, මුවට ළං කළේ නැත. මන්ද ඔවුන් දිවුරුමට භය වූ හෙයිනි. එහෙත්, තම පියා දිවුරුමකින් ජනයා බැඳගෙන තිබූ වග යොනාතාන් දැන සිටියේ නැත. එබැවින්, ඔහු තම අතෙහි වූ සැරයටිය දිගු කොට, එහි කෙළවර මී-වදයේ ඔබා, තම අත, මුවෙහි තැබී ය. එවිට ඔහුගේ ඇස් දීප්තිමත් විය. එවිට සෙබළුන්ගෙන් කෙනෙක් ඔහු අමතා, “ඔබගේ පියා, ‘අද දවසේ අහර බුදින කවරකුට වුව ශාප වේවා’ කියමින් තදබල දිවුරුමකින් හමුදාව බඳවා ගත්තා. මිනිසුන් ක්ලාන්ත ව සිටින්නේ එනිසා යැ” යි කීවේ ය.
යොනාතාන් පිළිතුරු දෙමින්, “මගේ පියා දේශයට කර ඇත්තේ හිරිහැරයක්; බලන්න; මේ මී පැණි ටිකක් දිව ගෑ හැටියේ මගේ ඇස් දීප්තිමත් වූ හැටි! තම සතුරන්ගෙන් මිනිසුන් කොල්ල කෑ දේ අද ඔවුන්ට කන්නට ලැබුණා නම් කොපමණ අගේ ද! එසේ වී නම් පිලිස්තිවරුන් ඝාතනය මීට වඩා මහත් විය නොහැක්කේ දැ?” යි පැවසී ය.
ඒ දවසේ ඉශ්‍රායෙල්වරු, මික්මාස් පටන් අයියාලොන් දක්වා පිලිස්තිවරුන්ට පහර දුන් පසු, ඔවුන් සිටියේ විඩාපත් ව ය. ඔවුහු කොල්ලය පිට කඩා පැන, බැටළුවන්, ගවයින් හා වහු පැටවුන් අල්ලාගෙන බිම පෙරළා මරා, ලේ පිටින් ම උන් කා දැමූහ. එවිට යමෙක් සාවුල්ට කතා කොට, “අන්න, ලේ සමඟ මස් කෑමෙන්, මිනිස්සු ස්වාමින්වහන්සේට එරෙහිව පව් කරති” යි කීහ.
එවිට, “ඔබ ක්‍රියා කොට ඇත්තේ ද්‍රෝහි ලෙස යැ” යි කී සාවුල්, “වහාම මෙතැනට විශාල ගලක් පෙරළාගෙන එන්නැ” යි පැවසී ය. ඔහු යළි කතා කරමින්, “ජනයා අතරට ගොස්, මෙසේ කියන්න: ‘ඔබ එකිනෙකා තම තමාගේ ගවයා හෝ බැටළුවා හෝ මා වෙත ගෙනැවිත්, මෙහිදී උන් මරා කන්න. ලේ සමඟ මස් කෑමෙන් ස්වාමින්වහන්සේට එරෙහිව පව් නො කරල්ලා’ යි” පැවසී ය.
එබැවින් ඒ රැයේ, තම තමාගේ ගවයින් එහි ගෙන ආ මිනිස්සු එහිදී උන් මැරූහ. ඉන්පසු සාවුල් ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නැගී ය. ඔහු ස්වාමින්වහන්සේට ගොඩ නැගූ පළමු පූජාසනය එයයි.
ඉන්පසු සාවුල්, “රැයේ, අපි පිලිස්තිවරුන් පසු පස එලවා ගොස්, එළිවන තුරු ඔවුන් කොල්ල කමු. උන් එකකුවත් ඉතිරි නො කරමු” යි කීවේ ය.
“වඩා හොඳයයි ඔබට පෙනෙන දේ කරන්නැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
එහෙත් පූජකයා කතා කොට, “අපි මෙහිදී දෙවියන්වහන්සේ වෙත ළඟා වෙමු” යි කීවේ ය.
එනිසා සාවුල් දෙවියන්වහන්සේගෙන් විමසමින්, “පිලිස්තිවරුන් පසු පස මා එලවා යන්න ද? ඔබ ඔවුන් ඉශ්‍රායෙල්වරුන් අතට හසුකර දෙනවා දැ?” යි ඇසී ය. එහෙත් උන්වහන්සේ එදින ඔහුට උත්තර නො දුන් සේක.
එවිට සාවුල්, “ජනතාවගේ නායකයිනි, මෙහි එනු. අද දවසේ කවර පාපයක් සිදු විණි දැයි සොයා බලමු. ඊට වගකිව යුත්තා මගේ පුත් යොනාතාන් වුවත්, ඉශ්‍රායෙල් ගලවන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, ඔහු මරණයට පත් විය යුතු යැ” යි කීවේ ය. එහෙත් මුළු මහත් ජනයා අතරේ වූ කිසිවකු ඔහුට වචනයකුදු කීවේ නැත.
ඉන්පසු සාවුල් සියලු ඉශ්‍රායෙල්වරුන් අමතමින්, “ඔබ හැම ඒ පැත්තේ සිටගන්න. මාත්, මගේ පුත් යොනාතානුත් මේ පැත්තේ සිටගන්නවා” යි කීවේ ය.
“වඩා හොඳයයි ඔබට පෙනෙන දේ කරන්නැ” යි ජනයා පැවසූහ.
ඉන්පසු සාවුල් යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, නිවැරදි දේ මට පෙන්වා දුන මැනව” යි ඉල්ලී ය. එවිට යොනාතාන් හා සාවුල් ගනු ලැබිණ. සෙසු ජනයා නිදොස් වූහ. එවිට සාවුල්, “මාත්, මා පුත් යොනාතානුත් අතර පස ඇටය දමන්නැ” යි කීවේ ය. එවිට යොනාතාන් ගනු ලැබිණ.
එවිට සාවුල් යොනාතාන් අමතමින්, “මට කියන්න, කුමක් ද ඔබ කළේ” යි කීවේ ය.
යොනාතාන් පිළිතුරු දෙමින්, “මා අතේ වූ සැරයටිය අගින් මම මී පැණි ටිකක් දිව ගෑවා. මෙන්න මම. මම මැරෙන්නම්” යි කීවේ ය.
“යොනාතාන්, දෙවියන්වහන්සේ මටත් එසේ කරන සේක්, ඊටත් වැඩියෙන් කරන සේක්වා. සැබවින් ම ඔබ මැරෙන්න ඕනෑ” යි සාවුල් කී ය.
එවිට ජනයා සාවුල් අමතමින්, “ඉශ්‍රායෙල්හි මේ මහත් මිදීම සැලසූ යොනාතාන් මිය යා යුතු ද? කොහෙත් ම නැත! ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මොහුගේ හිසකේ ගසක්වත් බිම නො වැටිය යුතුයි. මන්ද අද ඔහු එසේ කළේ, දෙවියන්වහන්සේගේ උපකාරයෙනි” යි කීහ. මෙසේ ජනයා යොනාතාන් ගලවා ගත්තෙන්, ඔහු මරණයට පත් නො කෙරිණි.
ඉන්පසු සාවුල්, පිලිස්තිවරුන් ලුහුබැඳීම නවතා දැමී ය. පිලිස්තිවරු තම දේශයට ආපසු ගියහ.
සාවුල්, ඉශ්‍රායෙල්හි පාලනය බාර ගත් පසු, හැම පැත්තෙන් ම වූ තම සතුරන් සියල්ලන්ට එරෙහිව සටන් කළේ ය. මෝවබ්ට, අම්මොන්වරුනට, ඒදොම්ට, සෝබාහි රජුන්ට හා පිලිස්තිවරුන්ට එරෙහිව සටන් කොට, ගිය ඒ කොතැනට වුව ඔහු ඔවුන් පැරදවී ය. කොල්ලකෑවුන් අතින් ඉශ්‍රායෙල්වරුන් මුදා ගනිමින්, ඔහු වික්‍රමාන්විත ව සටන් කොට, අමලෙක්වරුන් පැරදවී ය.
සාවුල්ගේ පුත්තු නම් යොනාතාන්, ඉෂ්වී හා මල්කී-ෂුවා ය. ඔහුගේ කුලුඳුල් දියණියගේ නම මේරබ් ය. ඔහුගේ බාල දියණිය මීකල් ය. සාවුල්ගේ බිරිඳගේ නම අහිනොවම් ය. ඈ අහිමාස්ගේ දියණියයි. සාවුල්ගේ හමුදා නායකයාගේ නම අබ්නේර් ය. අබ්නේර්, නේර්ගේ පුත්‍රයා ය. නේර්, සාවුල්ගේ බාප්පා ය. සාවුල්ගේ පියා වූ කීෂ් හා අබ්නේර්ගේ පියා වූ නේර් යන දෙදෙනා අබියෙල්ගේ පුත්‍රයෝ ය.
සාවුල්ගේ පාලන කාලය පුරා ම පිලිස්තිවරුන් සමඟ දරුණු සටන් පැවතිණි. හුරුවිරු-එඩිතර මිනිසකු දුටු හැම විටෙක ම සාවුල් තම සේවයට ඔහු බඳවා ගත්තේ ය.