1 සාමුවෙල් 14:1-23

1 සාමුවෙල් 14:1-23 SCV

දිනක් සාවුල්ගේ පුත් යොනාතාන්, තම අවි දරන තරුණයා අමතමින්, “එමු, අපි එහා පැත්තේ තියෙන පිලිස්ති මුරපොළ වෙත යමු” යි කීවේ ය. එහෙත් ඔහු ඒ වග තම පියාට කීවේ නැත. සාවුල්, ගිබෙයා අවට පෙදෙසේ මිග්‍රෝන්හි දෙළුම් ගහක් යට සිටියේ ය. ඔහු සමඟ මිනිසුන් හයසියයක් පමණ වූහ. ඔවුන් අතරෙහි, ඒපොද් සැට්ටයක් හැඳි අහියා ද සිටියේ ය. ඔහු ෂීලෝහි ස්වාමින්වහන්සේගේ පූජකයා වූ ඒලීගේ පුත්‍ර, පීනෙහාස්ගේ පුත්‍රයා වූ අහිටූබ්ගේ සහෝදර ඊකාබොද්ගේ පුත්‍රයා ය. යොනාතාන් ගිය වග ඒ කිසිවකුත් දැන සිටියේ නැත. පිලිස්තිවරුන්ගේ මුරපොළ වෙත ළඟා වීමට, යොනාතාන් තරණය කිරීමට උත්සාහ ගත් දුර්ගය දෙපස පර්වත කූට දෙකක් විය. එකක් බෝසෙස් නම් විය. අනෙක සෙන්නේ ය. එක් පර්වත කූටයක් මික්මාස් දෙසට උතුරට පිහිටා තිබිණි. අනෙක ගෙබා දෙසට දකුණට පිහිටා තිබිණි. යොනාතාන් තම අවි දැරූ තරුණයා අමතා, “එමු, අපි අර චර්ම-අඡේදිතයන්ගේ මුරපොළ ළඟට ම යමු. ඇතැම් විට ස්වාමින්වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇති. බොහෝ දෙනකු මගින් හෝ ස්වල්ප දෙනකු මගින් ගැලවීම සලසන ස්වාමින්වහන්සේ වැළැක්වීමට කිසිවකටත් බැරි යැ” යි පැවසී ය. ඔහුගේ අවි දරන්නා පිළිතුරු දෙමින්, “ඔබේ සිතේ ඇති සියල්ල කරන්න. හරි අපි යමු; මෙන්න; මුළු හදින් ම මුළු ජීවයෙන් ම මා ඔබ සමඟ යැ” යි කීවේ ය. එවිට යොනාතාන්, “ඔන්න, එහෙනම් එන්න, අපි එගොඩ ව යමු ඒ මිනිසුන් දෙසට. ගොසින්, ඔවුනට පෙනෙන්නට සිටිමු. ඔවුන් අප අමතමින්, ‘නුඹලා ළඟට අප එන තුරු ඔතැන නැවතී සිටිනු’ කිවහොත්, අපි සිටිනා තැන නිසොල්මනේ ඔවුන් වෙත නැගී නො ගොස් සිටිමු. එහෙත් ඔවුන් අප අමතා, ‘අප වෙත නැගී එනු’ යි කිවහොත්, අපි උඩට නගිමු. මන්ද ස්වාමින්වහන්සේ අපේ අතට ඔවුන් යටත් කර දී ඇති බවට අපට ඇති ලකුණ එය යැයි” කීවේ ය. මෙසේ ඔවුන් දෙදෙන පිලිස්ති මුර පොළට පෙනෙන්නට සිටියහ. එවිට පිලිස්තිවරු, “අන්න! ඔවුන් සැඟවී සිටි කුහරවලින් හෙබ්‍රෙව්වෝ පිටතට එති” යි කීහ. මුර පොළේ සිටි මිනිස්සු යොනාතාන්ටත්, ඔහුගේ අවි දරන්නාටත් හඬ ගාමින්, “අප වෙත නැගී වරෙල්ලා; අප නුඹලාට යමක් පෙන්වන්නට” යි කෑ ගැසූහ. එවිට තම අවි දරන්නා ඇමතූ යොනාතාන්, “මා පස්සෙන් නැග එන්න. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් අතට ඔවුන් යටත් කර දී ඇතැ” යි කීවේ ය. යොනාතාන් තම අත්-පා ආධාරයෙන් තම අවි දරන්නා පිටුපසින් ඇති ව, උඩට නැංගේ ය. යොනාතාන් ඉදිරියේ පිලිස්තිවරු පැරදී වැටුණහ. ඔහුගේ අවි දරන්නා ඔහු අනුව යමින්, ඔහු පිටුපස සිට ඔවුන් මැරී ය. එම පළමු ප්‍රහාරයේදී යොනාතාන් හා ඔහුගේ අවි දරන්නා අක්කර භාගයක පමණ බිම් කොටසක් තුළ විසිදෙනකු පමණ මරා දැමූහ. කඳවුර තුළත්, එළිමහනෙත් සිටි මුළු හමුදාව අතරේ මහත් භීතියක් හට ගත්තේ ය. මුර-පොළවල හා ප්‍රහාරක කණ්ඩායම්වල සිටි අය වෙවුලූහ. පොළොව සලිත විණ. දෙවියන්වහන්සේ විසින් එවන ලද භීතියකි එය. බෙන්යමින් ගිබෙයාහි වූ සාවුල්ගේ නිරීක්ෂකයින් බැලූ කල, මෙන්න, සමූහයා ඒ මේ අත විසිර යනු දුටහ. එවිට සාවුල්, තමා සමඟ සිටියවුනට කතා කොට, “පෙරෙට්ටුව ගණන් ගෙන, අප වෙතින් ගොස් ඇත්තේ කවුරු ද කියා බලන්නැ” යි කීවේ ය. ඔවුහු එසේ කළ විට, එහි නො වූයේ යොනාතාන් හා ඔහුගේ අවි දරන්නා ය. එවිට සාවුල් අහියාට කතා කොට, “දෙවියන්වහන්සේගේ කරඬුව මෙහි ගෙනෙන්නැ” යි කීවේ ය. මන්ද දෙවියන්වහන්සේගේ කරඬුව එකල ඉශ්‍රායෙල් ජනයා සමඟ ම විය. පූජකයා සමඟ සාවුල් කතා කරන අතරේ පිලිස්ති කඳවුරේ ගාලගෝට්ටිය වඩ වඩා උත්සන්න විය. එබැවින් සාවුල්, “ඔබේ අත අහකට ගන්නැ” යි පූජකයාට කීවේ ය. ඉන්පසු සාවුල් හා ඔහු සමඟ සිටි සියල්ලෝ එක් රැස් වී සටනට බටහ. බලනු! පිලිස්තිවරුන් මහා වියවුලකින් යුතු ව තම කඩුවලින් එකිනෙකාට පහර දෙන්නට වන්හ. කලින් පිලිස්තිවරුන් සමඟ සිට, ඔවුන් හා පිලිස්ති කඳවුරට ගොස් සිටි හෙබ්‍රෙව්වෝ, සාවුල් හා යොනාතාන් සමඟ වූ ඉශ්‍රායෙල්වරුනට එකතු වීමට හැරුණහ. සැඟවෙන්නට එප්‍රායිම් කඳුරටට ගොස් සිටි සියලු ඉශ්‍රායෙල්වරු ද පිලිස්තිවරුන් පලා යමින් සිටි වග ඇසූ කල, සටනට එක් වී, සැරෙන් ඔවුන් ලුහුබැඳ ගියහ. මෙසේ ස්වාමින්වහන්සේ ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන් මිදූ සේක. බෙත්-ආවෙන් පුරය ද ඉක්මවා සටන පැතිරිණි.