1 සාමුවෙල් 12

12
සාමුවෙල් සමුගැනීම
1සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් ජනතාවට කතා කොට, “මෙන්න, ඔබ මට පැවසූ හැම දේට ම මා ඔබට ඇහුම්කන් දී, ඔබට රජකු පත් කර දුන්නා. 2ඔන්න දැන් ඔබේ නායකයා වශයෙන් ඔබට රජ කෙනකු සිටී. බලන්න මා දැන් සිටින්නේ මහලු ව, පැසුණු හිසකේ ඇතිවයි. මගේ පුත්තු ඔබ අතරෙයි. බාල වයසේ පටන් අද දවස දක්වාත් මා ඔබේ නායකයා ව සිටියා. 3මෙන්න මම මෙතැන; ස්වාමින්වහන්සේ ඉදිරියේත්, උන්වහන්සේගේ ආලේප ලද්දාණන් ඉදිරියේත් මට එරෙහිව පැමිණිලි කරන්න. මා කවරකුගේ ගවයා ගත්තා ද? මා කවරකුගේ බූරුවා ගත්තා ද? මා වංචා කළේ කවුරුන්ට ද? මා පීඩා කළේ කවුරුන්ට ද? යුක්තියට ඇස් වසාගනිමින්, මා කවරකුගෙන් අල්ලස් ගෙන තියේ ද? මින් එකක් හෝ මා කර ඇත්නම්, මම එය නැවත ගෙවන්නෙමි” යි පැවසී ය.
4එවිට ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබ අපට වංචා කළේවත්, පීඩා කළේවත් නැත. කිසිවකුගේ අතින් කිසිවක් ගත්තේ ද නැතැ” යි කීහ.
5සාමුවෙල් ඔවුන් අමතමින්, “මා අත කිසි වරදක් ඔබට හමු නො වූ බවට ඔබට එරෙහිව ස්වාමින්වහන්සේ සාක්ෂිකරුවාණෝ ය. උන්වහන්සේගේ ආලේප ලද්දාණන් වන රජුත් අද දවසේ සාක්ෂිකරුවා යැ” යි පැවසී ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “උන්වහන්සේ සාක්ෂිකරුවාණෝ” යි කීහ.
6සාමුවෙල් ජනතාව අමතමින්, “මෝසෙස් හා ආරොන් තෝරා පත් කර ගත්තෙත්, ඔබේ ආදි පියවරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේත් ස්වාමින්වහන්සේ ය. 7එබැවින් දැන් සාවධාන ව සිටින්න. මන්ද ඔබ උදෙසාත්, ඔබේ පියවරුන් උදෙසාත් ස්වාමින්වහන්සේ සිදු කළ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඉදිරිපත් කරන්නෙමි.
8“යාකොබ් ඊජිප්තුවට ගිය කල, ඊජිප්තුවරු ඔවුන්ට පීඩා පැමිණ වූහ. එවිට ඔබේ පියවරු උපකාර ඉල්ලා, ස්වාමින්වහන්සේට මොර ගැසූහ. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් එවූ සේක. ඔවුහු ඊජිප්තුවෙන් පිටතට ඔබේ පියවරුන් ගෙනවුත්, මේ ස්ථානයේ ඔවුන් පදිංචි කරවූහ.
9“එහෙත් ඔවුහු තමන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ අමතක කළහ. එබැවින් උන්වහන්සේ හාසොර්හි හමුදාපති වූ සීසෙරා අතටත්, පිලිස්තිවරුන් අතටත්, මෝවබ්හි රජු අතටත් ඔවුන් විකුණූ සේක. ඔවුහු ඔවුන්ට එරෙහිව සටන් කළහ. 10එවිට ඔවුහු ස්වාමින්වහන්සේට මොර ගසමින්, ‘අපි පව් කළෙමු. අපි ස්වාමින්වහන්සේ අතහැර, බාල් දේවතාවුන්ට හා අෂ්තොරෙත් දේවතාවන්ට සේවය කළෙමු; එහෙත් අපේ සතුරන් අතින් දැන් අප ගැලෙවුව මැනව. අපි ඔබවහන්සේට සේවය කරන්නෙමු’ යි ඉල්ලූහ. 11ඉන්පසු ස්වාමින්වහන්සේ යෙරුබ්බාල්#12:11 යෙරුබ්බාල් එනම් ගිඩියොන් ද බාරාක්#12:11 බාරාක් ඇතැම් හෙබ්‍රෙව්, ග්‍රීක් සහ සිරියැක් අත් පිටපත්වල බෙදාන් ද යෙෆ්තා ද සාමුවෙල්#12:11 සාමුවෙල් ඇතැම් හෙබ්‍රෙව්, ග්‍රීක් සහ සිරියැක් අත් පිටපත්වල සම්සොන් ද එවා, උන්වහන්සේ හැම පැත්තෙන් ම ඔබේ සතුරන් අතින් ඔබ මුදා ගත් බැවින්, ඔබ සුරක්ෂිත ව වාසය කළහ.
12“එහෙත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ රජතුමා ව සිටියේ වුව ද, අම්මොන්වරුන්ගේ රජු වූ නාහාෂ් ඔබට විරුද්ධ ව ආ වග ඔබ දුටු කල, ‘එසේ නො වේ. අප කෙරේ රජකම් කරන්නට අපට රජකු ඕනෑ’ යි ඔබ මට කීවා. 13මෙන්න දැන්, නුඹලා තෝරාගත්, නුඹලා ඉල්ලා සිටි රජ්ජුරුවෝ මෙන්න! ස්වාමින්වහන්සේ ඔබට රජකු පත් කර දී තියෙනවා. 14නුඹලා ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වනවා නම්, උන්වහන්සේට සේවය කරනවා නම්, උන්වහන්සේගේ කටහඬට කීකරු වෙනවා නම් හා උන්වහන්සේගේ අණ-පනත්වලට එරෙහිව කැරලි ගසන්නේ නැති නම් ඔබත්, ඔබට රජකම් කරන ඔබේ රජුත් යන දෙගොල්ල ම ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුගමන කරන්නේ නම් යහපති! 15එහෙත්, ඔබ ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු නො වී, උන්වහන්සේගේ අණ-පනත්වලට එරෙහිව කැරලි ගසන්නේ නම්, උන්වහන්සේගේ හස්තය ඔබේ පියවරුන්ට එරෙහිව තිබුණාක් මෙන් ඔබටත් එරෙහි වනු ඇත.
16“එබැවින් දැන්, සාවධාන ව සිට, ඔබගේ ඇස් හමුවේ ස්වාමින්වහන්සේ කරන්නට යන මේ මහා සිද්ධිය දෙස බලා සිටින්න. 17අද තිරිඟු කපන කාලය නො වේ ද? ගිගුරුම් ද වැස්ස ද එවන ලෙසට ස්වාමින්වහන්සේට මම හඬ ගසන්නෙමි. රජකු ඉල්ලීමෙන් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ ඔබ කොතරම් නපුරක් කර ගත්තේ දැයි එවිට ඔබට තේරුම් යනු ඇතැ” යි කීවේ ය.
18ඉන්පසු සාමුවෙල් ස්වාමින්වහන්සේට හඬ ගැසුවේ ය. ස්වාමින්වහන්සේ ඒ දවසේ ම ගිගුරුම් ද වැස්ස ද එවූ සේක. එබැවින් මුළු ජනතාව ම ස්වාමින්වහන්සේටත්, සාමුවෙල්ටත් අතිශයෙන් භය වූහ.
19එවිට මුළු මහත් ජනයා සාමුවෙල්ට කතා කොට, “අප නො නසින පිණිස, ඔබේ සේවකයින් උදෙසා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. මන්ද අප විසින් කරන ලද සියලු පාප අතරට රජකු ඉල්ලීමේ මෙම දුෂ්ටකමත් ඈඳී ඇතැ” යි කීහ.
20සාමුවෙල් පිළිතුරු දෙමින්, “භය නො වන්න; මේ හැම දුෂ්ටකමක් ම නුඹලා කර ඇති නමුත් ස්වාමින්වහන්සේ අනුගමන කිරීමෙන් ඉවත නො හැරී, ඔබේ මුළු හදින් ස්වාමින්වහන්සේට සේවය කරන්න. 21කමකට නැති දේවලට හැරී නො යන්න. ඔවුනට කළ හැකි සෙතක් නැත. ඔබ මුදා ගන්නට ඒවාට බැරි ය. මන්ද ඒවා හිස් ය. 22ස්වාමින්වහන්සේ ස්වකීය උත්තම නාමය නිසා තම ජනතාව ප්‍රතික්ෂේප නො කරන සේක. මන්ද තමන්වහන්සේගේ ම වූ ජනතාවක් කොට, ඔබ පත් කර ගන්නට ස්වාමින්වහන්සේ ප්‍රසන්න වූ සේක. 23මා ගැන කියතහොත්, ඔබ උදෙසා යාච්ඤා කිරීම නවතා දැමීම මගින්, ස්වාමින්වහන්සේට එරෙහිව පව් කිරීම මවෙතින් දුරු වේවා. මම ඔබට යහපත් වූත්, නිවැරදි වූත් මාර්ගය පෙන්වා දෙන්නෙමි. 24ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව, ඔබේ මුළු හදින් විශ්වාසී ව, උන්වහන්සේට සේවය කිරීමට වග බලා ගන්න. ඔබ උදෙසා උන්වහන්සේ කොතරම් මහත් දෑ කර ඇත්දැයි සිතා බලන්න. 25එහෙත් ඔබ දිගට ම දුෂ්ටකම්හි නියැළේ නම්, ඔබත්, ඔබගේ රජුත් විනාශ කර දමනු ලැබේ යැ” යි පැවසී ය.

දැනට තෝරාගෙන ඇත:

1 සාමුවෙල් 12: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න