1 සාමුවෙල් 1:3-20

1 සාමුවෙල් 1:3-20 SCV

සේනාංකවල ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නට හා යාග පූජා ඔප්පු කරන්නට වසරින් වසර මේ මිනිසා, තම නගරයේ සිට ෂීලෝ වෙත යාමට පුරුදු වී සිටියේ ය. එහි ස්වාමින්වහන්සේගේ පූජකයින් ව සිටියේ ඒලීගේ පුතුන් දෙදෙනා වූ හොෆ්නී හා පීනෙහාස් ය. යාග පූජා ඔප්පු කරන දවසේ, එල්කානා තම බිරිඳ වූ පෙනින්නාටත්, ඇගේ සියලු පුතුන් හා දූවරුන්ටත් කොටස් දුන්නේ ය. එහෙත් හන්නාට ඔහු දෙගුණයක කොටසක් දුන්නේ ය. ඒ, ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණා වුව ද, ඔහු ඇයට ආදරය කළ නිසා ය. ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබූ බැවින්, ඇගේ තරඟකාරිය ඇය දැඩි ව රිදවනු පිණිස ඇය කෝප ගැන්වීමට පුරුදු ව සිටියා ය. වසරින් වසර එසේ සිදු විණි. ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විටෙක ම පාහේ ඈ ඇය කෝපගන්වයි. එවිට ඈ හඬන්නට වී, කිසිවක් අහරට නො ගෙන සිටින්නී ය. එවිට ඇගේ සැමියා, එල්කානා ඇය අමතමින්, “හන්නා, ඇයි ඔබ හඬන්නේ? ඇයි ඔබ කිසිවක් නො කන්නේ? ඇයි ඔබ සිතින් දුක් වන්නේ? පුතුන් දස දෙනකුටත් වඩා ඔබට මා වටින්නේ නැති දැ?” යි අසයි. ෂීලෝහි දී ඔවුන් කෑ-බී පසු, හන්නා නැගිට්ටා ය. ඒ අතර පූජක ඒලී ස්වාමින්වහන්සේගේ මාලිගයේ උළුවස්ස පසෙක අසුනක හිඳගෙන සිටියේ ය. අධික සිත් තැවුලෙන් හොඳට ම හැඬූ හන්නා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළා ය. ඈ බාරයක් වෙමින්, “අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ඔබගේ සේවිකාවගේ දුක්ඛිතකම දෙස බලා, මා මතක් කර, ඔබගේ සේවිකාව අමතක නො කර, ඔබවහන්සේ ඇයට පුතකු ලබා දෙන්නේ නම්, ඔහුගේ මුළු ජීවිත කාලයට ම මම ස්වාමින්වහන්සේට ඔහු දෙන්නෙමි. දැළි පිහියක් කිසි දින ඔහුගේ හිසට තබනු නැතැ” යි කීවා ය. ඇය ස්වාමින්වහන්සේ අබියස යාච්ඤා කරද්දී, ඒලී ඇගේ මුව දෙස බලා සිටියේ ය. හන්නා යාච්ඤා කළේ ඇගේ හදවතින් ය. ඇගේ තොල් සැලුණා විනා ඇගේ කටහඬ ඇසුණේ නැත. එබැවින් ඇය බීමත් ව සිටිතැයි සිතූ ඒලී, ඇය අමතමින්, “තව කොපමණ වේලා නුඹ බීමත් ව හැසිරෙනවා ද? නුඹේ මිදි යුෂ මතින් මිදෙන්නැ” යි කීවේ ය. හන්නා පිළිතුරු දෙමින්, “එසේ නො වෙයි මා ස්වාමිනි, මා හොඳටෝ ම දුකට පත් ස්ත්‍රියක්; මා මිදි යුෂ හෝ අන් මත්පැනක් බීලා නො වේ. මා කළේ ස්වාමින්වහන්සේ ඉදිරියේ මගේ සිත්සතන් වැගිරවීමයි. ඔබගේ සේවිකාව වන මා කමකට නැති තැනැත්තියකැයි සිතන්න එපා. මා මහත් සිත් සංතාපයෙන් හා සෝ තැවුලෙන් යුතු ව කන්නලව් කරමින් සිටියා” යි කීවා ය. එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගෙන් ඔබ ඉල්ලූ දේ ඉෂ්ට කර දෙන සේක්වා!” යි කීවේ ය. ඈ කතා කරමින්, “ඔබේ සේවිකාව වන මට ඔබ හමුවෙහි ප්‍රසාදය ලැබේවා!” යි කීවා ය. ඉන්පසු එම කාන්තාව ආපසු ගොස්, ආහාර ගත්තා ය. තවදුරටත් ඇගේ මුහුණ සෝ බරිත නො වී ය. පසු දා අරුණ උදෙන් පිබිදුණු ඔවුහු, ස්වාමින්වහන්සේ ඉදිරියේ නමස්කාර කොට, පසුව රාමාහි තම නිවස බලා පිටත් ව ගියහ. එල්කානා තම බිරිඳ වූ හන්නා සමඟ එක් වුණේ ය. ස්වාමින්වහන්සේ ඇය සිහි කළ සේක. මෙසේ නිසි කල්හි හන්නා ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. මන්ද, “ස්වාමින්වහන්සේගෙන් මම ඔහු ඉල්ලා ගතිමි” යි ඈ කීවා ය.

1 සාමුවෙල් 1:3-20 සඳහා වීඩියෝව

1 සාමුවෙල් 1:3-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය